ආණ්ඩුවෙන් ඉවත්වෙනවාද නැද්දැයි යන්න හෙට (20) පැවැත්වෙන එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීම්කදී තීරණය කිරිමට නියමිතය. එක්සත් ජාතික පක්‍ෂ නායක
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ පාර්ලිමේන්තු සංකීරිණයේදී ඊයේ (18) පැවැති පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමේදී මෙම තීරණයට එළඹී ඇත.  නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගි වී නැත.

කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ස්වදේශ කටයුතු අමාත්‍ය වජීර අබේවර්ධන මහතා කීවේ

බදාදා (20) එක්සත් ජාතික පෙරමුණේ පක්‍ෂ නායක රැස්වීමේ දී ගන්නා තීරණය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග ද සාකච්ඡා කොට එකගතාවයකට එළඹීමට බලාපොරොත්තු වන බවයි. පාර්ලිමේන්තුව වහාම කැඳවා මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා පූර්ණ සහාය දිය යුතු බවට මන්ත්‍රී කණ්ඩායමේ දී සාකච්ඡා වූ බවද අමාත්‍ය වජීර අබේවර්ධන මහතා සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා කීවේ ආණ්ඩු පක්ෂයට විපක්‍ෂයේ අසුන් ගන්නවාද නැද්ද යන කාරණය පිළිබඳවද වශයෙන් සාකච්ඡා වූ බවයි. කෙසේ වුවද ඒ කාරණය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් විවිධ මත පළ කළ බැවින් අවසන් තීරණයකට නොපැමිණි බවද

අමාත්‍යවරයා සඳහන් කළේය. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ පක්‍ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් අතර විශේෂ හමුවක් ඊයේ (18) කොළඹදී පැවැත්වුණු බව කී සුජීව සේනසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතා දේශපාලනයෙන් ඉවත්වන මතයක සිටින බව තමාට හැඟී ගිය බවද සඳහන් කළේය. දේශපාලනයෙන් ඉවත් නොවන ලෙස මන්ත්‍රී කණ්ඩායම එහිදී සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටි බවද සුජීව සේනසිංහ මහතා කීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙහිදී සඳහන් කළේ ආණ්ඩුවට ලබන මාර්තු මාසය වනතෙක් කාලය තිබෙන බැවින් ආණ්ඩුවෙන් ඉවත්වීමට අවශ්‍යතාවයක් නැති බවයි. ආණ්ඩු බලය තිබෙන තුරු ඉවත්විය යුතු නැති බව මන්ත්‍රී මණ්ඩලයේ බහුතරයකගේ මතය වූ බවද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළාය.

-අංජුල මහික වීරරත්න-