දෙමළ ජාතික සන්ධානය (TNA) සජිත් ප්‍රේමදාසට සහයෝගය ලබා දෙන බව එහි ප්‍රධාන පක්ෂය නිවේදනය කර ඇති නමුත් තම පක්ෂයේ ස්ථාවරය එය නොවන බව උතුරේ හිටපු මහ ඇමති සී වී විග්නේශ්වරන් පවසයි.

බීබීසී සිංහල
සේවය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මෙවර ජනාධිපතිවරණයේ දී තමන් කැමති කෙනෙකුට නිදහසේ ඡන්දය ප්‍රකාශ කරන ලෙස තම ආධාරකරුවන්ට දැනුම් දුන් බවය.

"අපේ පක්ෂයේ අය සජිත්ටත් ඡන්දේ දාන්න පුළුවන්, ගෝඨාභයටත් දාන්න පුළුවන්, අනුරටත් දාන්න පුළුවන්. ඒ වගේම සිරිතුංගටත් දාන්න පුළුවන්. සිරිතුංග මහත්තයා විතරයි අපේ ඉල්ලීම් සියල්ල ම ලබා දිය යුතු බව පිළිගත්තේ."

මෛත්‍රිපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ බලයට ගෙන ඒම සඳහා 2015 දී උතුරේ ජනතාව සිය ඡන්දය භාවිත කළ නමුත් එම රජය විසින් දෙමළ ජනතාව රවටනු ලැබ ඇති බව හිටපු මහ ඇමතිවරයා ප්‍රකාශ කළේය.