පාතහේවාහැට මාරස්සන ජාතික පාසල් ඡන්ද මධ්‍යස්ථානයේ මැතිවරණ රාජකාරී කටයුතු සඳහා පසුගිය 16 වැනිදා අනුයුක්ත  කර සිටි නිලධාරීනියකට පක්ෂ
නියෝජිතයන් වෙතින් එල්ල  වූ විරෝධතාවක් හේතුවෙන්  ඇය ඡන්ද මධ්‍යස්ථානයේ කටයුතුවලින් නීත්‍යනුකූලව  ඉවත් කිරීමට පියවර ගත් බව ඡන්ද මධ්‍යස්ථානය භාර ජ්‍යෙෂ්ඨ නිලධාරිවරයා පැවසීය.


මැතිවරණ රාජකාරි කටයුතු සඳහා අනුයුක්ත කර සිටි මෙම නිලධාරිනියගේ  ස්වාමිපුරුෂයා පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂිකයකු ලෙස පාතහේවාහැට ප්‍රාදේශීය සභාව සඳහා තරග කළ අයකු බව හා ඔහු නියෝජනය කළ කොට්ඨාසයේ ඡන්ද දායකයන් මෙම ඡන්ද මධ්‍යස්ථානයේ දී ජනාධිපතිවරණය සඳහා ඡන්දය භාවිත කිරීම එම ජනතාවගේ ඡන්ද අයිතියට බාධාවක් විය හැකි බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ හා අනෙකුත් දේශපාලන පක්ෂවල ඡන්දපොළ නියෝජනය කළ පැමිණිල්ලකට අවදානය යොමු කර එම නිලධාරිනිය එලෙස රාජකාරි කටයුතුවලින් ඉවත්කර ඇත.

ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා පැමිණ ඡන්දදායකයන් වෙත ඇය යම් බලපෑමක් එල්ල කළේ ද යන්න පිළිබඳව ඡන්ද මධ්‍යස්ථානය භාර ජ්‍යෙෂ්ඨ නිලධාරිවරයාගෙන් විමසූ විට එම නිලධාරියා සඳහන් කළේ එවැනි බලපෑමක් එම නිලධාරිනියගෙන් එල්ල නොවූ බවයි. ඇය ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරි කටයුතු සිදුකිරිමෙන් ඡන්ද දායකයන්ගේ ස්වාධීන ඡන්ද අයිතියට බාධාවක් විය හැකි බවට එල්ලවූ විරෝධතාව පිළිබඳව අවධානය යොමුකර කම ඉහළ නිලධාරියේ උපදෙස් මත නිලධාරිනිය නීත්‍යනුකුලව මැතිවරණ රාජකාරි කටයුතුවලින් ඉවත් කිරිමට පියවර ගත් බව ඡන්ද මධ්‍යස්ථානය භාර ජ්‍යෙෂ්ඨ නිලධාරිවරයා පැවසීය.


-එම්.දසනායක-