ලබන වසරේ (2020) ජනවාර් 01 වැනිදා සිට විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ගීත ප්‍රචාරය කිරීමේදී ඒ සඳහා කර්තෘභාග ගෙවිය යුතු බව අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභාව තීරණය කර තිබේ.

ඒ අනුව ගුවන්විදුලි මාධ්‍යයෙන් ප්‍රචාරණය වන ගීතයකට රුපියල් 30ක් හා රූපවාහිනී මාධ්‍යයෙන් ප්‍රචාරණය වන ගීතයකට රුපියල් 100ක කර්තෘභාග ගෙවිය යුතුවේ.

2022 දක්වා මෙම මුදල් මේ ආකාරයෙන් ගෙවිය යුතු බවත්, එතැන් සිට ගුවන්විදුලි මාධ්‍යයන් ප්‍රචාරණය වන ගීතයකට
රුපියල් 50ක් හා රූපවාහිනී මාධ්‍යයෙන් ප්‍රචාරණය ගීතයකට රුපියල් 250ක් දක්වා වැඩි විය යුතු බවත් කාරක සභාව තීරණය කර ඇත.

මේ සඳහා වන පනත් කෙටුම්පත යළි පාර්ලිමේන්තු කැදවන 2020 ජනවාර් 03 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද යෝජනා වී ඇති අතර, මේ සම්බන්ධයෙන් වන අවසන් සාකච්ඡාව ලබන 20 වැනිදා පැවැත්වීමට නියමිත බවද පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

අධ්‍යාපන හා මානව සමිපත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභාවේ සභාපති මහාචාර්ය ආශු මාරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව රැස්වී ඇත.

චාමර සම්පත්