මත්ද්‍රව්‍ය චෝදනාවලට අධිකරණයෙන් මරණ දඬුවම නියම කෙරුණු සිරකරුවන් එල්ලා මැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය ක්‍රියාත්මක විම වළක්වාලමින් නිකුත් කර තිබූ අතුරු නියෝගය
ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබන මාර්තු මස 20 වැනිදා තෙක් ඊයේ තවදුරටත් දිර්ග කරනු ලැබීය. මීට අදාළ පෙත්සම ලබන මාර්තු මස 17, 18 සහ 19 යන දිනවල සලකා බැලීමට ද  දින නියම කෙරිණි. ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ තීරණය කළේ මරණ දඬුවම නියමව සිටින සිරකරුවන්  පිරිසක් සහ සිවිල් ක්‍රියාකාරිකයන් ඇතුළු  පිරිසක් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් ඊයේ (09) කැඳවනු ලැබූ කැඳවූ අවස්ථාවේදීය. මෙම පෙත්සම් විජිත් මල්ලගොඩ, එස්. තුරෙයිරාජා, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණි අමරසේකර යන මහත්ම මහත්මීගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ
විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවිණි.


මෙලෙස පෙත්සම් ගොනු කරනු ලැබ ඇත්තේ දැනට මරණ දඬුවම නියමවී සිටින එස්. ගනේෂ්, මොහොමඩ් මිතාර්, හනීෆා ප්‍රහීම් නවාස්, එස්.ඒ. සුරේෂ් කුමාර්, සුබ්‍රමනියම් පනියමූර්ති, කේ.එච්. ගමගේ චන්ද්‍රදාස, එච්.කේ. ජයතිලක සහ එන්.ඒ. නිශාන්ත අල්විස් යන අටදෙනාත් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයත්, මහාචාර්ය සී. ගුණරත්න සහ ආචාර්ය කළණ සේනාරත්න යන සිවිල් ක්‍රියාකාරීන් දෙදෙනාත් විසිනි.  මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් නීතිපති, අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.ඇම්.ජේ.ඩබලිව්. තෙන්නකෝන්, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස යන මහත්ම මහත්මීහු නම් කරනු ලැබ සිටිති. පෙත්සම්වල මෙසේ ද සඳහන් වේ.

ශ්‍රී ලංකාව මරණ දඩුවම ක්‍රියාත්මක නොකරන රටක් වශයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ කීපවරක්ම ප්‍රතිඥා දී ඇත.
මේ වනවිට මරණ දඬුවම නියම වූ 1600ක් සිටින බව බන්ධනාගාර සංඛ්‍යා ලේඛනවල සඳහන් වේ. මේ අතර ජනාධිපතිවරයා විසින් මත්ද්‍රව්‍ය චෝදනාවලට
වරදකරු වී මරණ දඬුවම ලැබූ සිරකරුවන් සිව්දෙනෙකු එල්ලා මැරිමට අස්සන් කර ඇති බවට ජනමාධ්‍ය මගින් ප්‍රසිද්ධ කෙරිණි. එහෙත් මේ පිළිබඳ පැහැදිලි තොරතුරු මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැත.  මෙම ක්‍රියාච ශ්‍රී ලංකාව අස්සන්කර ඇති අත්තර් ජාතික ප්‍රඥප්තීන් උල්ලංඝනය කිරීමකි. මෙලෙස මරණ දඩුවම ලැබූ සිරකරුවන් අතරින් සිව් දෙනෙකු තෝරා මරණ දඬුවම නියම කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි. සැබැවින් මෙම ක්‍රියාව තුළින් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන ලෙස ද මෙම පෙත්සම විභාගයට ගෙන අවසන් වන තෙක් මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරුවෝ සිය පෙත්සම් වලින් ඉල්ලා සිටිති.

-තිළිණි ද සිල්වා-