එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි ගෘහසේවයේ නියුතු ශ්‍රී ලාංකිකයකු සිය ඉන්දීය ජාතික හාම්පුතුගේ නිවසින් ඩිරාම් හයලක්ෂයක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් දෙකෝටි අනූහතර ලක්ෂකට වැඩි) වටිනා
සුඛෝපභෝගී භාණ්ඩ තොගයක් රැගෙන එරටින් පලාගොස් ඇතැයි තානාපති ආරංචිමාර්ග සඳහන් කරයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය ජාතික හාම්පුතු ඩුබායි පොලිසියට පැමිණිලි කර ඇති අතර මෙම සොරකම කළ ලාංකිකයා පිළිබද වෙනම පොලිස් පරික්ෂණයක් ඉකුත් සතියේදී ආරම්භ කළ බවද එම තානාපති ආරංචි මාර්ග පවසයි. මේ වසරේ මාය කිහිපයකට පමණ පෙර මෙම ලාංකිකයා ඔහුගේ රැකියා විසා බලපත් ඉක්මවා එරට රැඳී සිටියදී ඉන්දීය ජාතික හාම්පුතු සහ ඔහුගේ බිරිඳට හමුවී ඇති අතර ඔහු ගැන අනුකම්පා කර මොහුව ඩුබායි හි අල් ගර්හුද්  පිහිටි සිය සුඛෝපභෝගී

නිවසේ අත්උදව්කරු වශයෙන් ගෘහසේවයට යොදාගෙන ඇතැයි ද වාරිතා වේ.

එලෙස සේවය කරමින් සිටි අතරවාරයේ දී සැකකාර ලාංකිකයා ගේ මව අසනීප තත්ත්වයේ පසුවීම හේතුවෙන් ඉකුත් ජුලි 22 වැනිදා ඔහුට ශ්‍රී ලංකාවට ගොස් යළි ඩුබායි ඒමට පවා මුදලින් ෙඋදව් කර ඇත.ඉන්පසුව ඉකුත් ඔක්තෝබර් 28 වැනිදා මෙම ඉන්දීය යුවළ යුරෝපා සහ ඉන්දියාවේ සංචාරයකට එක්ව සිටි අතරවාරයේදි මෙම සොරකම සිදු කර ඇත. මාස දෙකකට පමණ පසු යුවල එම සංචාරය නිමවා පැමිණි පසු තම වටිනා  භාණ්ඩ රැඳවා අගුළු දමා තිබූ කාමරය කඩා බිඳ දමා තිබෙන අයුරු දැක පසුව ඒ ගැන එරට පොලීසියට පැමිණිලි කර ඇතැයි ද තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.

සොරකම් කළ ඩිරාම් හයලක්ෂයක් වටිනා භාණ්ඩ අතර ස්වර්ණාභරණ, ඩිරාම් 65,000 ක් පමණ වටිනා අත් ඔර්ලෝසු 8 ක් සහ ඉලෙක්ට්‍රොනික උපකරණ, ක්‍රෙඩිට් කාඩ් පත භාවිතා කරමින් ගත් ඩිරාම් 56,716 ක මුදලක්ද වන බව එම හාම්පුතු ඩුබායි පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ. මෙම සොරකම සිදුකළ බව කියන ලාංකිකයා මේ චන විට ඩුබායිවලින් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට ඩුබායි පොලීසිය පරික්ෂණ පවත්වාගෙන යයි. එම පරික්ෂණ අවසන් වූ වහාම සොරකම් කිරීමේ චෝදනාව යටතේ එම ලාංකිකයාට එරහිව නඩු පවරනු ඇතැයිද තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.

-තිළිණි ද සිල්වා-