කොටි සංවිධානය යළි නගාසිටුවිමේ කටයුතුවල යෙදුණු පුනරුත්ථාපනය නොවූ ලංකාවේ සාමාජිකයන් සිවුදනකු යුද උපකරණ තොගයක් ද සමග මුතුර් සහ සාම්පුර් ප්‍රදේශවලදී 8 දා  අත්අඩංගුවට ගත් බව
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කීයයි.
මෙම සිවුදෙනා මුතූර් හා සාම්පූර් පොලිස් වසම්වලට අයත් කටිටපරිච්චාන් දකුණ, මනල්චේන, රාල්කුලි යන ප්‍රදේශවල පදිංචිකරුවන්  වන අතර ඔවුන් සතුව තිබූ යතුරුපැදි දෙකක් ද  අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන්ගෙන් ප්‍රශ්න කිරිමේදී හෙළි වූ තොරතුරු අනුව විවිධ ස්ථානවල සඟවා තිබූ ටී 56 ගිනි අවියක්, මැගසින් දෙකක්, ජීව උණ්ඩ 61ක්, ක්ලේමෝ බෝම්බයක්, ජීව අත්බෝම්බ තුනක්, ඩ‍ෙටනේටර් තුනක් සහ මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලවලට යොදන ජීව උණ්ඩ 31ක් ද සොයාගෙන තිබේ.වැඩිදුර ප්‍රශ්න කිරිම සඳහා සිවුදෙනාම කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ගෙන යනු ලැබූහ. රාජ්‍ය බුද්ධි සේවාවට ලැබුණු තොරතුරක් ත්‍රස්ත විමර්ෂන කොට්ඨාසයට දැන්වීමෙන් පසුව එම කොට්ඨාසය මගින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.