කළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකු අද(26) එහි  6 වන මහළින් වැටී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.


මියගොස් ඇත්තේ වැල්ලවත්ත විජේරත්නපුර පදිංචි මුනියන්දි සත්‍යරාජු නමැති 48 හැවිරිදි අයෙකි.

මෙම පුද්ගලයා මීට දින කිහිපයකට පෙර සිරුරේ වූ තුවාලයකට ප්‍රතිකාර ගැනීම සඳහා රෝහලට ඇතුළත්ව 27 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටි අයකු බවත් පොලිසිය කියයි.

අනතුර සිදුවීමත් සමඟ රෝහලේ සේවකයකු වහාම රෝගියා වාට්ටුවට ඇතුළත් කර ඇති අතර රෝගියා පරීක්ෂා කිරීමේදී ඔහු මියගොස් ඇති බව වෛද්‍යවරුන් පැවසූ බව පොලිසිය කියයි.

මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂණ සාම විනිසුරු පාරින්ද කොටුගොඩ මහතා අද(26) සිදුකිරීමට නියමිතය.

එම පුද්ගලයා 6 වන මහළින් වැටී මියගියාද, නැතහොත් ඉන් පැන දිවි නසාගත්තාදැයි සෙවීම සඳහා විමර්ශන පැවැත්වේ.

කොහුවල පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

(ශාන්ත ප්‍රදීප්  කුමාර කුලරත්න)