සැෆයර් රෙසිඩන්සීස් සහ ITC One හෝටල් සංකීර්ණය මීටර් 100ක් ඉහළ අහසේදී එකිනෙක සම්බන්ධ කරමින් 'AHASA ONE' ගුවන් පාලම (Sky Bridge) ඉහළට එසවීම පසුගිය 15දා සිදුවිය. දකුණු ආසියානු කලාපයේ ගොඩනැගිලි සංකීර්ණයක් ආශ්‍රිතව මේ ආකාරයේ ප්‍රථම උසම ගුවන් පාලම ලෙස මීටර් 224ක් උස
සැෆයර් රෙසිඩන්සීස් කුලුන සහ මීටර් 140ක් උස ITc One හෝටල් සංකීර්ණ කුලුන යා කරමින් එහි 19 සිට 21 වැනි මහල දක්වා මහල්වල් එකිනෙක යා කිරීමක් AHASA ONE මගින් සිදුව තිබේ.


මෙම "AHASA ONE" හි උඩු මහලෙහි සාගරය දෙසට විවෘත විශාල නාන තටාක දෙකකින් සහ හිරු රැස් විඳින ස්ථානයකින් සමන්විත අතර ඇතුළත සුඛෝපභෝගී jazz lounge එකකින් සහ බාර් එකකින් සමන්විතය. හාත්පස පෙනෙන දර්ශනයක් සහිත මෙම ගුවන් පාලම පරිශ්‍රය ඉන්දියන් සාගරය, බෙරේ වැව ආශ්‍රිත පරිසරයට සහ කොළඹ අගනුවරට නව අගයක් එක් කරයි.

මෙම දැවැන්ත නිර්මාණය ඉහළට එසවීම සුවිශේෂී කාර්යයක් වී ඇති අතර, කුලුණු ද්විත්වයෙහි මීටර් 100ක් ඉහළින් මීටර් 56ක් දිගට එසවුණු 'AHASA ONE" බරින් ටොන් 3,000කි. ලොව ප්‍රමුඛ පෙළෙහි ඉදිකිරීම් සමාගමක් වන L&T හි අත්දැකීම් හා පළපුරුද්ද සමග වෙල්කම් හොටල්ස් ලංකා (පුද්.) සමාගම මේ ව්‍යාපෘතියට හවුල්කාරීත්වය ලබාදී තිබේ.

"AHASA ONE'හි සැලසුම්, පිරිසැකසුම්, ප්‍රසම්පාදන හා ඉදිකිරීම් යන අංශයන්හි වසර 02ක සාමූහික ක්‍රියාවලියක් අවසානයේදී මෙය ඉහළට එසවුණු බව L&T ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධානී නටරාජන් නාමචියමි මහතා පවසයි. මෙම ඉදිකිරීම සඳහා සුවිශේෂී ' සින්ක්‍රොනයිඩ් ලිෆ්ටින්" පද්ධතීන් සහ 'ෆැබ්රීකේෂන්' ක්‍රමවේද මෙම 'ටොප් ඩවුන්' එකලස් කිරීමේ ක්‍රියාවලීන් භාවිතාකර තිබීමෙන් එහි අගය තවත් නැඟවුණු බව ඔහු වැඩිදුරටත් පවසයි.