මාධ්‍ය අධ්‍යයනය සඳහා වන ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා සහතික ප්‍රදානය කළ හැකි විශ්වවිද්‍යාල විදහයතනයක් (University College) එළඹෙන දින 100ක් තුළ ස්ථාපිත කිරීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ ඊයේ(18දා) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති, පුවත්පත් මණ්ඩලය විසින් වාර්ෂිකව පිරිනමාන මාධ්‍ය අධ්‍යයනය සහ "පුවත්පත් කලාවේදය" ඩිප්ලෝමා සහතික පත්‍ර පිරිනැමීමේ උත්සවයට සහභාගී වෙමිනි.

ඒහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"අපේ රටේ දීර්ඝකාලීන ඉතිහාසයක් තියෙන මාධ්‍ය කලාවේ වාර්ෂිකව විශාල තරුණ පිරිසක් නියැළී ඉන්නවා. ඒ වගේම වැලද ගන්නවා. වෘත්තිකයන් ලෙස ඇතුළත් වෙනවා. එසේ ඇතුළත් වන මාධ්‍යවේදීන් අතීතයේ සිටී මාධ්‍යවේදීන් හා සසඳන විට
ඔවුන්ගේ අගය අඩුවීමකට ලක්වෙලා තියනවා කියන එකයි මගේ පුද්ගලික හැගීම. මහා ප්‍රාඥයන් සිටි මේ මාධ්‍ය ක්ෂේත්‍රවල බුද්ධිමතුන් රඳවා ගැනීමට අපි සමත් වුණේ නැහැ.

ඒ නිසා එවැනි උසස් තලයකට සිංහල, දමිළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ආයතන ගෙන ඒම සඳහා ගුණාත්මක වශයෙන් ඉතා ඉහළ දැනුමක්, අධ්‍යාපනයක් ලබාදෙන ආයතනයක් ඉතාම වැදගත්. ඒ නිසාම පුවත්පත් මණ්ඩලයේ බුද්ධිමතුන්ගේ දායකත්වය, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ගේ දායකත්වය ලබා ගෙන වෘත්තීයවේදීන්ගේ සහයද සමග ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සංවර්ධන වැඩපිළිවෙළට අනුව මාධ්‍ය අධ්‍යයනය සදහා විශ්වවිද්‍යාල විද්‍යායතනයක් ඇති කරන්න කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

ලෝකයේ අනෙක් රටවල වගේම එම විශ්වවිද්‍යාල විද්‍යායතනවලට ඇතුළත් වෙන්නට ඉසෙඩි අගය අදාළ වෙන්නේ නැහැ, මොකද එහි ප්‍රධාන අවශ්‍යතාව උපාධියක් ලබාදීම නෙමෙයි. ඩිප්ලෝමා සහ උසස් ඩිශිලෝමා ලබාදීමයි.

විභාගය සමත්, ජීවිතය අසමත් තාරුණියට නිසි තැන් සකසමින් මානව සම්පත් සංවර්ධන ඉලක්කයට යන්නට අපි කටයුතු කරමින් ඉන්නේ. ඒ සඳහා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සහයෝගයද විශ්වවිද්‍යාල සහ වෘත්තීයවේදීන්ගේ සහායද නැවත වතාවක් බලාපොරොත්තු වෙනවා." යැයි පැවසීය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධිනීතිඥ බන්දුල වෙල්ලාල. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් එක් වූහ.

සාකල්යා සඳමාලි