දේශපාලන මැදිහත්වීමකින් තොරව බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය පිළිබඳ පරීක්‍ෂණ කටයුතු සිදුකරන ලෙස අපරාධ පරීක්‍ෂණ  දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයාගෙන්  ඉල්ලීමක් කළ බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසූහ. මේ වනතුරු කිසිදු පක්‍ෂණයක් සිදුකර නොමැති මෙම පැමිණිල්ලේ පක්‍ෂණ කටයුතු කඩිනමින් අවසන් කර, බැටික්ලෝ කැම්පස් ආයතනය රජයට පවරා ගන්නා ලෙසද රතන හිමියෝ ඉල්ලා සිටියහ.

රතන හිමියෝ මේ බව පැවසුවේ ඊයේ (18දා) එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා විසින් බැටිලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය පිහිටුවීමට ලබාගත් ඉඩම හා ඊට මුදල් ලැබුණ ආකාරය පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන මෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කළ පැමිණිල්ලට ගනු ලබන පියවර පිළිබඳ විමසීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.රතන හිමියෝ මේ පිළිබඳ විමසීමට පළමුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ගිය අතර, එහිදී දැනුම්දී ඇති පරිදි නිලධාරින් ස්ථාන මාරුවීම් හේතුවෙන් මෙම පරීක්‍ෂණ කටයුතු
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇති බවයි.

ඒ පිළිබඳ දැනගැනීමෙන් අනතුරුව උන්වහන්සේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ගියහ.  අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවී පැමිණිමේන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ රතන හිමියෝ, "හිස්බුල්ලා විසින් 2010 -2015 රජය සමයේ පවරාගත් ඉඩම හීරා ෆවුන්ඩේෂන් නමින් දරුවන්ට නොමිලේ අධ්‍යපනය ලබාදෙන වෘත්තීය පුහුණු ආයතනයක් හදන්න කියමින්. නමුත් එය බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් නමින් පවුලේ කොම්පැනියක් ආරම්භ කරන්න, අන්තවාදය, මූලධර්මවාදය පතුරන ආයතනයක් පටන් ගන්න. මේ සඳහා සෞදි අරාබියන් මුදල් ලබාදුන් ආයතන පිළිබඳ සොයා බලන්න කියලා අපි විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම් දුන්නත්, ඒ ගැන පරික්‍ෂණයක් සිදු වුණේ නෑ. පසුව මේ වසරේ ජූලි මාසේ අපි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මේ වෙද්දී එෆ්.සී.අයි.ඩී. එකත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවත් ඒකාබද්ධ කරලා තියන නිසා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ මේ ගැන විමසීමක් කළා.

අපි එහි අධ්‍යක්‍ෂ එස්.එස්.පී. තිලකරත්න මහතා මුණගැසුණා. කිසිම දේශපාලන මැදිහත්වීමකට ඉඩ නොතබා මෙම පරීකෂණ සිදු කරන්න කියන ඉල්ලීම් අපි එතුමගෙන් කළා.මේ  පිළිබඳ ජනාධිපතිවරයා මධ්‍යස්ථව කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.ලංකාව අන්තවාදයේ තෝතැන්නක්  බවට පත්වන්න අපි ඉඩ දෙන්නේ නෑ. මෙම ආයතනයට මුදල් ලැබුණ ආකාරය ගැන, ඒ මුදලට මොකද වුණේ කියන එක, ඉඩම් ලබාගත් ආකාරය ගැන පරීක්‍ෂණයක් කරන්න ඕන, පරික්ෂණ කරලා මේ වීශ්වවිද්‍යාලය රජයට පවරා ගන්න කියන ඉල්ලීම අපි කරනවා" යනුවෙන් පවසා සිටියහ.