අගලවත්ත යටියන ශ්‍රී ලියන්වල ධර්මායතන පිරිවෙනේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් එහි වැඩ වාසය කරන හිමිවරුන් හතළිස් නමක් චීවරය හැර යාමේ අවදානමකට පත්ව ඇතැයි පෙරේදා (15දා) පැවැති විශේෂ දායක සභාව රැස්වීමේදී හෙළිවිය.

මෙම විහාරස්ථානයේ නව විහාරාධිපති ලෙස නීතනුකුල අයිතියක් තමාට ඇතැයි පවසමින් අගලවත්ත උඩවෙල විසුද්ධාරාම විහාරස්ථානයේ විහාරාධිපති වහන්සේ ඉදිරිපත් වීම නිසා ගැටලුව උද්ගත වී ඇති බවද දායක සභාවේ නිලධාර්යෙක් පැවැසීය.

දායක සභාවේ නිලධාරියෙකු ලබාදුන් තොරතුරු මතධර්මායතන පිරිවෙන වෙත ගිය අපට දැනගත හැකි වූයේ විහාරාධිපතිව වැඩ විසු පසුගියදා අපවත් වී වදාළ පූජ්‍ය යටියන අස්සජි ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් පසු මෙම විහාරස්ථානයේ නව හිමිකාරිත්වය වෙනස් වීම නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි.

වර්ෂ 1984 දී ආරම්භ කර ඇති මෙම ධර්මායතන පිරිවෙනහි මේ වන විට හිමිවරුන් හැට නමක් වැඩ වාසය කරන අතර එයින් උපසමිපදාව ලද හත් නමක් හා සාමණේර හිමිවරු තිස් තුන් නමක් ඇති වී තිබෙන අර්බුදකාර් තත්ත්වය මත චීවර හැර යාමට සූදානම්ව සිටින බවද දායක සභාවේ නිලධාරීන් පවසති.

කෙසේ වෙතත් මෙම ධර්මායතනයෙහි වැඩ වාසය  කරන හිමි නමකගෙන් (නම සඳහන් නොකළ) මේ පිළිබඳ කළ විමසීමේදී උන්වහන්සේ පවසා සිටියේ ගමේ පිළිගත් නායක ස්වාමින්වහන්සේගේ මුල්ම සිසු භික්ෂුව වූ වලගෙදර මභානාම ස්වාමින්වහසේ වෙත මෙම පන්සලේ භාරකාරත්වය ලබාදීමට සියල්යල්ලෝම කැමැති බවත්, මෙම පිරිවෙන් විහාරස්ථානයේ අපවත් වු නායක ස්වාමීන් වහන්සේ විහාරස්ථානය නීත්‍යොනුකූලව පවරා නැතිමුත්, උන්වහන්සේට විහාරාධිපති තනතුර ලබාදීම පිරිවෙන්නේ අභිවෘද්ධිය සඳහා වඩා වැදගත් බවත්, සංඝ සභා නීතියට අනුව යෝජිත නව විහාරාධිපති හිමියන් යටතේ පිරිවෙනෙහි කටයුතු අඩාළ විය හැකි බවත්ය.

මේ සම්බන්ධයෙන් විහාරස්ථානයේ දායක සභාවත්, පිරිවෙනෙහි වැඩ වාසය කරන හිමි වරුන් සහ විහාරාධිකාරී හිමියන් ලිපි තුනක් මගින් අදාළ මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලීම් කර ඇති බවත්, දැනට ඒ සඳහා ලැබී ඇති ප්‍රතිචාර යහපත් නොවන බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

එමෙන්ම දායක සභාවේ සහ ප්‍රදේශවාසීන්ගේත්, පිරිවෙනෙහි වැඩ වාසය කරන හිමිවරුන්ගේත් ඉල්ලීම නොතකා වෙනත් හිමි නමක් විහාරාධිපති
වශයෙන් පත් කිරීමට සංඝ සභාව තීරණය කළහොත් මෙහි වැඩ වාසය කරන උපසම්පදා ලද හිමිවරුන් හත් නමක් ඇතුළු වයස අවුරුදු 15 ඉක්මවූ සාමණේර හිමිවරුන් සියලුදෙනා චීවරය හැර යාමට සුදානම්ව සිටින බවත් උන්වහන්සේ  අනාවරණය කළහ.

මෙහිදී දායක සභාවේ තවත් නිලධාරියෙකු පවසා සිටියේ මෙම විහාරස්ථාන භූමිය ප්‍රදේශයේ පදිංචිව සිටි රාණි අධිකාරි නම් හිටපු  මන්ත්‍රීවරියක විසින් , ඇයගේ ඥාති සම්බන්ධතාවක් මත අපවත් වී වදාළ පුජ්‍ය යටියන අස්සජි හිමියන් සහ
විහාරාධිකාරී වලගෙදර මහානාම හිමියන් වෙත වර්ෂ 1984දී පරිත්‍යාග කර ඇති බවත්, අනතුරුව පූජ්‍ය අස්සජී හිමියන් විසින් මෙම විහාරස්ථානය පිරිවෙනක් බවට පත් කර වැඩිදියුණු කළ බවත්ය.

එසේම විහාරාධිකාරී හිමියන් සහ එහි වැඩ වාසය කරන අනෙකුත් හිමිවරුන් දායක සභාව සමගත්, ප්‍රදේශවාසීන් සමගත්, විශාල සහයෝගයකින් කටයුතු කරන බවත්, පත් කිරීමට නියමිත විහාරාධිපති හිමියන් යටතේ එම සහයෝගීතාව ඇති නොවන බව ඒකාත්ත බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

අප මෙම සිද්ධියට සම්බන්ධ නව විහාරාධිපති වශයෙන් පත්වීමට නියමිත හිමිගෙන් අදහස් විමසීම සඳහා එම හිමියන් වැඩසිටින විහාරස්ථානයට ගියද උන්වහන්සේ හමුවිමට නොහැකි වූ අතර දුරකථන ඔස්සේ සම්බන්ධ කර ගැනීමට අප ගත් උත්සාහයද ව්‍යවර්ථ විණ.

අගලවත්ත - ධනුෂ්ක ලංකා නානායක්කාර/ ප්‍රේමතිලක පෙරමුණ