මීට වසර හතරකට පෙර සිදුවූ ඇය අනතුරක් සම්බන්ධයෙන් තමන්ගේ සහ තම රියදුරාගේ විදේශ ගමන් බලපත්‍ර අත්හිටුවා තිබීම සමිබන්ධව ඉදිරීයේදී අධිකරණය හමුවේ කරුණු දක්වන බව ජාතික හෙළ උරුමයේ
මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

මේ සම්බන්ධව පොලිස් කොමිෂන් සභාවට කරුණු ඉදිරිපත් කරන බවත්, මෙම විමර්ශනය සිදුකරන පොලිස් නිලධාරීන් ස්වාධීනව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරකයන්ට, මහ බැංකු බැඳුම්කර වංචාකරුවන්ට දඩුවම් දෙන බව කියමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව තමන්ට අභියෝගයක් වියහැකි දේශපාලන නායකයන් දඩයම් කිරීම අරඹා තිබේන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

දේශපාලනමය වශයෙන් මාධ්‍ය හරහා කූට නාටක රඟ දක්වා ලබාගත් ජනවරම පිළිබඳ තැකීමක් නොකොට වත්මන් ආණ්ඩුව නඩු කටයුතුවල සිදුවීම් තම වාසියට හරවා ගනිමින් දේශපාලන පළිගැනීම් සිදුකරන බවත් හෙතෙම පවසා සිටියේය.

බත්තරමුල්ල ජාතික හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ පසුගියදා (14) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා
මේ බව පැවසූ අතර, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා,
" මට සහ මාගේ රියදුරාට විදෙස් ගමන් තහනමක් පනවන අධිකරණය අවසර ලබාදීල තියෙනවා. මීට අදාළ සිදුවීම 2016 පෙබරවාරි 28 වැනිදා

රාත්‍රියේ 9.45ත්, 10.00ත් අතර පාර්ලිමේන්තු පාරේ සරණ පාර ආසනයේ සිදුවෙච්ච සිදුවීමක්.

මේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරලා නඩු අංක 791/7 යටතේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමක් රාජගිරිය පොලීසිය මගින් සිදුකළා. එහිදී පැමිණිල්ල සනාථ කිරීම සදහා රාජගිරිය පොලීසියේ ඊට අදාළ වාර්තා නිලධාරීන් ඉදිරිපත් කළා.

ඒ කාලේ එක්තරා මාධ්‍ය ආයතනයක හිමිකරුවෙක් හා වත්මන් රජයේ ප්‍රධාන දේශපාලනඥයෙක් මේ වටා විශාල කතාවක්ම ගෙතුවා. ඒක තමයි මගේ නිල රථය. විසින් ඒ කාලේ තරුණයෙක් යටකොට පලාගියා කියලා.

මේ සම්බන්ධයෙන් පරික්ෂණ කරපු සියලු දෙනාමත් දන්නවා. ඒ වගේම මේ ගැන රස පරීක්ෂක වාර්තාවකුත් ගත්තා. ඉන් ඉතාම පැහැදිලි වුණා රථයේ පිටුපස වදින්නේ, තුන්වැනි මංතීරුව පසුකරගෙන සරණ මාවතට හරවල යනකොට වාහනේ පිටුපස්සේ ඇවිල්ල තමයි මේ අධිවේගී යතුරුපැදිය (1000 ccc ට වැඩි) හැප්පෙන්නේ.

ඒ නිසා කිසියම් ආකාරයකට චේතාන්විතව මෙම වාහනයෙන් යතුරුපැදිකරුවෙක් යනකොට පලාගියේ නැති බව පැහැදිලියි. ඒ බව රස පරික්ෂක වාර්තාවේ ඉතාමත්ම පැහැදිලිව සඳහන් වෙනවා. මේ සම්බන්ධයෙන් එදින රාත්‍රී 12.30ට පමණ රාජගිරිය පොලීසියට මොහොමඩි උවයිස් සිද්ධික් සහ ගයාශාන් විදුර පැහැදිලිව සාක්ෂි සටහන් දීල තියෙනවා.

හැබැයි දවස් 06කට පස්සෙ මේ සියලු කතා වෙනස් කරල දිවුරුම් ප්‍රකාශ මගින් අධිකරණයට ඉදිරිපත් වනවා. එහිදී ඔවුන් කියනව මේ රථය පැදෙව්වේ රියදුරා නෙමෙයි පාඨලී චමිපික රණවක වන මමයි කියලා.

ඒ අනුව විනිශ්චයකාරවරයා නඩුවාර ගණනාවක් කැඳවා විවිධාකාරයේ නියෝග ලබාදුන්නා. අද ජාතික පුවත්පතක් මේ සම්බන්ධව වාර්තා කරල තියෙනවා, ඒක එක්තරා ආකාරයකට පාර්ශවීය සටහන් කිරීමක්. මොරටුව විශ්වවිද්‍යාලය විසින් CCTV දර්ශන පරික්ෂා කළ බවත්, ජංගම දුරකථන භාවිතා විමර්ශනය කිරීමෙන් ඊට මා කිසිදු ආකාරයකට සම්බන්ධයක් නොමැති බවට අනාවරණය වූ බවත්, ඒ අනුව මාගේ සම්බන්ධයක් නොමැති හෙයින් මා නඩුවෙන් ඉවත් කළ බවත්, අවසානයේ රියදුරාට දඩයක් පනවා නඩුව හමාර කළ බවත් එහි සඳහන් කර නෑ.

මෙමගින් ඉතාමත්ම බරපතළ විදිහට ජනතාව නොමග යවන ආකාරයට තමයි ඉදිරිපත් කරල තියෙන්නේ.

දේශපාලනමය වශයෙන් මාධ්‍ය හරහා කූට නාටක රඟ දක්වා බලය ලබාගත්ත පිරිස මේ ආකාරයට අපිවත් දේශපාලන වශයෙන් විනාශ කරන්න හදනවා.

වත්මන් ආණ්ඩුව බලයට ආවේ, පාස්කු ඉරිදා ප්‍රහාරකයන්ට, මහ බැංකු බැඳුම්කර වංචාකරුවන්ට දඬුවම් දෙනව කියලා. එහෙම ඇවිත් අවුරුදු 04කට කලින් සිදුවෙචිව රිය අනතුරක් පස්සෙ හඹා යාමෙන් සහ ඒ හරහා තමන්ට අභියෝගයක් වෙන්න පුළුවන් දේශපාලන නායකයන් දඩයම් කිරීන්ම ඔවුන්ගේ අදහස, අභිලාෂය හා දුෂ්ට අරමුණ වී තිබෙනවා. ඒ නිසා අපි ඉදිරි කාලයේදී අධිකරණයට මේ පිළිබදව අපගේ කරුණු දැක්වීමක් කරනවා.

ඒ වගේ මේ විමර්ශනය කරන පොලිස් නිලධාරීන් ස්වාධීනව මේ කටයුතු කරයි කියල අපි බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධයෙන් අපි පොලිස් කොමිෂන් සභාවටත් කරුණු දක්වන බලාපොරොත්තු වෙනවා. මොකද නිදහස් ආකාරයට අපිමයි මේව සටන් කරල ලබාගත්තේ.

අද වෙනකොට වැඩකරන ජනතාවට අතිකාල දීමනා ගෙවාගන්න බැරි තත්ත්වයට, ජීවන වියදම අහස උසටෙ ගොස් තිබෙන, මර්දනය දොරකොඩටම ගමන් කරමින් තිබෙන බැරැක්ක රටක් බවට මේ රට පරිවර්ථනය වෙමින් තිබෙන අවස්ථාවක ඊට එරෙහිව නැගී සිටින්නට තිබෙන බලවේග මර්දනය කිරීමට, බිය කිරීමට උත්සහ කරනවනම් ඒක මුළාවක්.

අපි බොහොම පැහැදිලිව කියනවා,
මේ දේශපාලන පළිගැනීම්වලට කිසිම ආකාරයකට බිය වෙන්නේ, පැකිලෙන්නේ නෑ. ඒ වගේම අධිකරණය තුළ තියෙන ප්‍රශ්න සඳහා අපි අධිකරණියේදී මුහුණදෙනවා. දේශපාලන ප්‍රශ්න සඳහා අපි දේශපාලනමය වශයෙන් මුහුණ දෙනවා, සමාජමය වශයෙන් අපි ඊට මුහුණ දෙනවා. මේ සිදුවීම්වලින් වඩාත් නිර්භය වෙලා, වඩාත් එඩිතර වෙලා, සමඟි සම්පන්න වෙලා අපි ඉදිරියේදී කටයුතු කරනවා. ඒ මේ රටේ පොදු ජනතාවගේ නිදහසත් ප්‍රජාතන්ත්‍රවාදයත් වෙනුවෙන් පෙනී ඉන්නවා." යනුවෙන් පවසා සිටියේය.


අමිත් මධුරංග