ආගමික කටයුත්තක් වෙනුවෙන් මා මේ දිනවල කළු ඇඳගෙන තපස් ජීවිතයක් ගත කරන්නේ. අඩු වශයෙන් පිවහන් හෝ දාන්නේ නැහැ. එසේ කළු ඇඳගෙන මම මෙවර හලාවත ප්‍රාදේශීය සභා රැස්වීමට ගියාම කළු
ඇඳගෙන ආවා කියලා මාව සභාවෙන් පිටමං කළා. මෙය මගේ ආගම ඇදහීම නිදහසට තර්ජනයක්. මේ සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් කරන්න කියලා මම වගකිව යුතු අංශ වෙතින් අල්ලා සිටිනවා යැයි හලාවත පාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කෝකිලනාත් සිං ජෙයනන්ද සිං මහතා ‍සඳහන් කළේය. හලාවත මුන්නේශ්වරම් හි පදිංචි ඒ මහතා මුන්නේශ්වරම් ශ්‍රී ඊශ්වර දේවාලයේ ගිනි පෑගිම් පූජාවේ ප්‍රධානියා වශයෙන් ද කටයුතු කරයි. තමන්ට මුහුණදීමට සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ පැවසීය.

පසුගිය පළාත් පාලන ඡන්දයෙන් මම හලාවත ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ලෙසින් පත්වුණා. දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පිහිටි සබරීමලේ
අයියප්පයන් දේවාලයේ වාර්ෂික මංගල්‍යයට මම ගත වූ වසර 14 පමණ කාලයක සිට කණ්ඩායමක් සමග වන්දනාමාන කරන්න යනවා. මෙම ගමන යන්න කලින් සෑම වන්දනාකරුවකුම චාරිත්‍ර රැසක් අනුගමනය කළ යුතුයි. අයියප්පන් කෝවිල වඳින්න යන්න කලින් දින 55 ක කාලයක් පේවී තපස් ජීවිතයක් ගත කළ යුතුයි. කළු ඇදුමකින් තමයි සැරසී ඉන්න ඕනෑ. අඩු තරමින් පාවහන් මඟ දමන්නේ නැහැ. මම මන්ත්‍රී වුණාට පසු පසුගිය වසරේ අපේ සභාවේ මාසික රැස්වීමවලට මෙම කාලයේ දී මම ගියේ ද කළු ඇඳගෙනයි. එහිදී කිසිවකු මට විරෝධය පළ කළේවත් මාව එළියට දාන්න හෝ කටයුතු කළේ නැහැ. අපේ සභාවේ බලය ලැබි ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පක්‍ෂියටයි.

2020 වසමර් අයියප්පන් කෝවිල වදින්න යන්න  සූදානමින් ඉන්න මම පසුගිය 12 වන දින ද සභාවේ පැවැති දෙසැම්බර් මාසික රැස්වීමට සම්බන්ධවිමට ගියා. ඒ ගියේ සුපුරුදු අයුරින් කළු ඇඳගෙනයි. මා සභාවට ගිය විට ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ මන්ත්‍රී කෙනෙක් මම කළු ඇඳගෙන නිසා මට සභාවට එන්න දෙන්න බැහැයි කියමින් තර්ජනාත්මකව මට විරෝධය පළ කළා. මම මේ කළු ඇදුම ඇඳගෙන ඉන්නේ මගේ ආගමික කටයුත්තක් වෙනුවෙන්..ගිය අවුරුද්දිත් මේ ඇදුම ඇඳන් ගියාම කිසිදු විරෝධයක් ඇති වුණේ නැහැ. මේ අවුරුද්දේ මෙහෙ‍ෙ කළේ දේශපාලන බලපැමක් නිසායි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඕනෑම අයකුට තමන් අදහන ආගම නිදහසේ ඇදහිය හැකියි. එසේ තිබිය දී මට සභා රැස්වීමට ඇතුළු වන්න ඉඩ නොදීම මගේ
අයිතියක් පැහැර හැරිමක්..

සභාපතිවරයා එවිට නිහඩව සිටියා. විපක්ෂ මන්ත්‍රීවරුන් කරුණු දැක්වීමට ගිය විට ඊට ඉඩ දුන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට හා අපේ ආගමික දෙපාර්තමේන්තුවට ද මානව හිමිකම් කොමිසමට ද මම පරික්ෂණයක් කරන ලෙසට ඉල්ලා ඇතැයි ද කීය.  මේ සම්බන්ධයෙන් විමසු අවස්ථාවේ දී හලාවත ප්‍රාදේශීය සභාවේ සභාපති සරත් ද සිල්වා මහතා මෙසේ කීවේය.

සභා රැස්වීමක දී මන්ත්‍රීවරුන් ඇඳිය යුතු ඇදුම සුදු පාට විය යුතු බවට රීතියක් ඇත. එය මෙම මන්ත්‍රීවරයා වටහාගෙන නැතිව විය යුතුයි කළු ඇඳගෙන ආවේ. මේ මැතිවරණ උණුසුම අනුව මෙම කළු ඇදුමට අපේ පක්ෂයේ එක් මන්ත්‍රීවරයකු අදහස් පළ කිරීමක් සිදු කළා. එවිට කළු ඇඳගෙන ආ මන්ත්‍රීවරයා කිවා මේ ඇදුම ආගමික කටයුත්තක් නිසා සිදු කළ බවයි. එහෙම කියලා ඔහුට මා නොයන ලෙස කියන විටම පිටව යන්න ගියා. පසුගිය වසරේ දී ඔහු කළු ඇදුමින් සභා රැස්වීමට පැමිණියාද කියා මට මතක නැහැ. ඔහු ඉක්මන් වූවා. පසුව මා ඔහුට දීමනාව ගන්නනම් නිවාඩු ඉල්ලන ලෙසට පණිවුඩයක් යැවූ විට නිවාඩු ලිපියක් ඉදිරිපත් කර මන්ත්‍රීවරයා එයාගේ මාසික දීමනාව ලබාගත්තා. මේක නොදැනුවත්කම හා කලබලකාරිත්වය අනුව එම මන්ත්‍රීවරයා කටයුතු කළ නිසා යැයි ද කීය.

-ඔගස්ටීන් ප්‍රනාන්දු-