නත්තල් දින මධ්‍යම රාත්‍රි දේව මෙහෙයන් හා නත්තල් දින පැවැත්වෙන දේව මෙහෙයන් වෙනුවෙන් සෑම ස්ථානයකටම ආරක්ෂාව ලබා දෙන ලෙසට රජයෙන් ඉල්ලා සිටි බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ
අගරදරුතුමෝ ඊයේ (10) පැවසුහ.ආරක්ෂාව සම්බන්ධයෙන් පසුගිය කාලයේ යම් යම් තොරතුරු ලැබී ඇති බවත් ඒ හේතුවෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා මෙලෙස අමතර ආරක්ෂාවක් ඉල්ලා සිටි බවත් අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන බවට රජයෙන් පොරොන්දු වූ බවද අගරදගුරු හිමිපාණන් සඳහන් කළේය.

යම් කිසි ප්‍රහාරයක් නැවත එල්ල කිරිමට උත්සහයක් දැරීමට ඉඩ ඇති බවට ඇති ප්‍රවනතාව අනුව නත්තල දිනට අමතර ආරක්ෂාවක් ලබා දෙන්නට රජයෙන් හා ආරක්ෂක අංශවලින් මෙම ඉල්ලීම කළ බවද අගරදගුරු හිමියෝ සඳහන් කළහ.මැල්කම් කාදිනල් රංජීත් කොළඹ අගරදගුරුතුමන් මේ බව සඳහන් කළේ කොළඹ අගරදගුරු නිල නිවසේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීය. අප්‍රේල් 21 දින එල්ල වූ ප්‍රහාරය හා ප්‍රහාරයෙන් මියගිය තුවාල ලබා තවමත් ප්‍රතිකාර ලබමින් සිටින පිරිස මෙනෙහි කරමින් මෙම වසරේ නත්තල් උත්සවයේ ප්‍රීතිය සැහැල්ලුවෙන් හා ආධ්‍යත්මිකව ගත කරන ලෙසට සියලු කිතුනුවන්ගෙන් ඉල්ලා සිටින බවද අගරදගුරුතුමෝ මෙහිදී පැවසූහ.

මෙම වසරේ නත්තල් උත්සවය වෙනුවෙන් මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමට රජය තීරණය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් එම තීරණයට සම්බන්ධයෙන් තමන් කණගාටු වන බවද අගරදගුරු හිමිපාණෝ පැවසුහ. නත්තල් උත්සව දින මත්පැන් හල් විවෘත කර තැබීමට  සුරාබදු දෙපාර්තමේන්තුව ගත් තීරණය ප්‍රශ්නයක් බවත් වෙනත් වසයරවල මෙන් නත්තල් දින මත්පැන් හල් වසා දැමීමට ගත් තීරණය මේ වසරේද ක්‍රියාත්මක කරන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බවද කාදිනල්තුමෝ සඳහන් කළහ.

පාස්කු ප්‍රහාර පසුබිම තුළ මත්පැන් පානය කළහොත් එම සිද්ධිය අමතක වේවි යැයි යන මතය අනුව මෙම තිරණ ගත්තේ ද යන්න සුරාබදු දෙපාර්තමේන්තුවෙන් විමසන බවද අගරදගුරු හිමිපාණෝ වැඩිදුරටත් සඳහන් කළහ.

-ඉන්දිකා රාමනායක-