බණ්ඩාරකොස්වත්ත, හිඳගහවැව ප්‍රදේශයේ සුසාන භූමියේ පෙරේදා (15) මිහිදන් කර තිබු වයස්ස අවුරුදු 14ක දැරියකගේ මෘත හේහයක් ගොඩ දමා ඇති බව වාරියපොල පොලිසිය කියයි.
උණ රෝගයක් හේතුවෙන් මියගිය බව කියන ආර්.එම්. දිළිෂා නෙත්මිණී නවෝද්‍යා දැරියගේ මෘත ශරීරය පෙරේදා (15) සවස මූකලන්යාය සුසාන භූමියේ මිහිදන් කර තිබිණ.

මෘත ශරිරයේ මුහුණ කොට නිරාවරණය වන පරිදි දැරියකගේ සිරුර ගොඩට ගෙන ඇති බවට ඊයේ (16) උදෑසන ප්‍රදේශවායින් ග්‍රාමී නිලධාරීවරියට පැමිණිලි කිරිමෙන් පසු එම ස්ථානයට පොලිසිය කැඳවිය.

වාරියපාල වැඩ බලන මහේස්ත්‍රාත් ධර්ම ශ්‍රී මනතුංග මහතා ස්ථානය පරීක්ෂා කිරිමෙන් අනතුරුව පස් ඉවත් කර දේහය ඉවතට ගන්නා ලෙස දන්වා සිටි අතර ගම්වාසීන්
එක්ව පස් සියල්ල ඉවත් කිරීමේදී දැකගන්නට ලැබුණේ මිනී පෙට්ටිය කපා එම ස්ථානයෙන් සිරුර එළියට ඇද දේහය හිස එළියට සිටින සේ තබා නැවතත් වළට පස් පුරවා ඇති බවයි.

මහේස්ත්‍රාත් පරීක්ෂණයට පෙර එහි රැස්ව සිටි පිරිස අනුමාන කරන ලද්දේ දේහය එළියට ඇද දමා කියියම් පිරිසක් විසින් මිනී පෙට්ටිය රැගෙන යන්නට ඇති බවයි

එහෙත් පස් ඉවත් කිරීමේදී මිනී පෙට්ටිය හමුවීමත් සමඟ මෙම ක්‍රියාව යම්කිසි යාග හෝම කටයුත්තෙක්  වෙනුවෙන් සිදුකරන ලද්දක් දැයි සැක පහළ වී ඇතැයි ප්‍රදේශවාසීන් පැවසූ බව පොලිසිය කීයයි.

අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරින් එහි කැඳවා පරීක්ෂණයක් සිදුකර දේහය නැවත මිහිදන් කරන ලෙස ද ඉදිරි පරික්ෂණ සිදුකරගෙන යන ලෙසද වැඩබලන මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.

මියගිය දැරිය උණ රෝගය හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර දින දෙකකින් මියගිය බවත් දැරියගේ මොළය ඉදිමී ඇති බව වෛද්‍යවරුන් තමන්ට පැවසූ බවත් දැරියගේ පියා වන ශානක කුමාර (45) පැවැසීය.

මියගිය දැරිය හිදීගහවැව කනිෂ්ඨ විද්‍යාලයේ ඉගනුම් ලැබූ අතර ඇයට වයස අවුරුදු නවයක සොහොයුරෙක් ද සිටී.

වාරියපොල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත බණ්ඩාර මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් (30077) බණ්ඩාර, පොලිස් කොස්තාපල් (95285) සිසිර ඇතුළු නිලධාරීන් විසින් පරික්ෂණ මෙහෙයවනු ලබයි.

කුරුණෑගල රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ