පොලොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය සහ ගල්ලෑල්ල අතර ප්‍රදේශය ගංවතුර ගැලීම හේතුවෙන් ජලයෙන් යට වී රථවාහන ධාවනය කළ නොහැකිව තිබියදී මගීන් පිරිසක් රැගත් බරථයක් ගංවතුර මැද්දේ ධාවනය කළ බව කියන පෞද්ගලික බස් රථයේ රියැදුරා සහ එහි කොදොස්තවරයා අපරික්ෂාකාරි
ලෙස රිය ධාවනය සහ අපරික්ෂාකාරි ක්‍රියාවකින් මරණය සිදුකිරීමට තැත් කිරීම ඇතුළු චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව මේ මස 27 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස පොලොන්නරුව වැඩබලන මහේස්ත්‍රාත් සන්ධ්‍යා කරුණාසේකර මහත්මිය පෙරදා (21)
නියෝග කළාය.

මෙසේ රිමාන්ඩ් බාරයට පත් වූයේ එම පෞද්ගලික බස් රථයේ රියැදුරු වන පොලොන්නරුව, තඹාල පාර, අංක 398 ලිපිනයේ පදිංචි පොල්වත්තේ ගෙදර රුවන් පුෂ්පකුමාර යන අය සහ රිය සහායක මාතලේ, මඩවල උල්පත, අංක 214, ලිපිනය පදිංචි රත්නායක රාළලාගේ අසංක ප්‍රසාද් රත්නායක යන දෙදෙනාය. මාදුරුඔය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මෙම බස් රථය මාර්ගය ගංවතුරට යට වී තිබියදී මගීන් 54 දෙනකු රැගත් මෙම බසය පොලිසිය මහත් පරිශ්‍රමයක් යොදා එම පිරිස බේරාගෙන ආරක්ෂිත ස්ථාන කරා රැගෙන පැමිණි බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේය. පොලොන්නරුව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීහු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළහ.

-ඩබ්ලිව්.ඒ.පියතිලක-