රජයේ අමාත්‍යාංශවලට, පළාත් සභාවලට සහ රාජ්‍ය ආයතනවලට විදේශ රාජ්‍යයන්, තානාපති කාර්යාල හෝ විදේශ ආයතන සමඟ ගිවිසුම් වලට එළැඹීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරමින් ස්නාධිපති ලේකම්
පී.බී. ජයසුන්දර මහතා විශේෂ චක්‍ර ලේඛයක් නිකුත්කර ඇත. විදේශ රාජ්‍යයන් හෝ විදේශ ආයතන සමග ගිවිසුම් හෝ අවබෝධතා ගිවිසුම්වලට එළැඹිමේ බලය මින් ඉදිරියටම විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය වෙත පැවැරෙන බව ද එම චක්‍රලේඛයේ සඳහන් වේ.

ඉකුත් කාලයේදී රාජ්‍ය ආයතන විදේශ ආයෝජකයන්, ණය දෙන ආයතන, විදේශ
සංවිධාන සහ දූත මණ්ඩල සමග සම්බන්ධ වෙමින් විවිධ මූල්‍ය වැඩසටහන්, ණය ලබා ගැනීම සඳහා අවබෝධතා ගිවිසුම් අත්සන් කර ඇති අතර ඉන් බොහෝ ගැටලු ඇති වී තිබෙන බව ද එම චක්‍රලේඛණයේ සඳහන් කර තිබිණි. එලෙසින් එළැඹි බොහෝ ද්විපාර්ශ්වීය හා බහුපාර්ශ්වීය ගිවිසුම මෙන්ම අවබෝධතා ගිවිසුම නිසි අවශ්‍යතා ඇගැයීමකින් හෝ ප්‍රමාණවත් පරිදි පූර්ව සූදානමකින් තොරව දුර්වල ලෙස සකසා ඇතැයි ද මේ හේතුවෙන් එම ගිවිසුම් ක්‍රියාත්මක කිරිමේදී නීතිමය බාධක ඇතුළු බහුවිධ දුෂ්කරතා රැසක් පැන නැගී ඇතැයි ද ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් වේ.

මෙවැනි දුර්වලතා සහිත ගිවිසුම් නිසා විශ්වාසය පළුදුවීම, පාර්ශ්වයන් අතර සදොස් වැටහීම්, නීතීමය ආරවුල්, කීර්තිනාමයට හානි වීම සිදු වි විවිධ අක්‍රමිකතාවන්ට පවා හේතු වී ඇතැයි ද එහි සඳහන් වේ.  ඒ අනුව මින් ඉදිරියට ආයෝජන ව්‍යාපෘති සඳහා වන යෝජනාව,
මූල්‍ය අයෝජනා හෝ ද්විපාර්ශ්වීය,  බහුපාර්ශවීය වශයෙන් ප්‍රදානය කෙරෙන ආධාර, විදේශ ණය, අරමුදල් සම්පාදනය කිරීම, ආර්ථික හා ප්‍රජාපති සංවර්ධන අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීමක් වන බව ද එම චක්‍රලේඛයේ දක්වේ.

දැනටමත් අත්සන් කරනු ලැබ ඇති අවබෝධතා ගිවිසුම් හා අත්සන් කිරීමට ඇති ගිවිසුම් පිළිබඳව සවිස්තරාත්මක ලයිස්තුවක් සකස් කර විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය වෙත යොමුකර නිසි මහ පෙන්වීමක් ලබා ගන්නා ලෙස ජනාධිපති ලේකම්වරයාගේ එම චක්‍රලේඛයෙන් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ. ඉහත ක්‍රියාවලිය අනුගමනය කිරීමෙන් තොරව, නීතිපතිගේ පූර්ව අනුමැතිය, අමාත්‍ය මණ්ඩලයේ අනුමැති ලබා ගැනීමකීන් තොරව විදේශ රටවල් අහර විදේශ ආයතන සමඟ කිසිඳු බැඳිමක්  ඇතිකර නොගත යුතු බව ද එම චක්‍රලේඛයෙන් ආයතන  ප්‍රධානීන්ට උපදෙස් දී ඇත.ජනාධිපති ලේකම්වරයාගේ එම චක්‍රලේඛය සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත යවා තිබේ.

-රංජන් කස්තුරි-