ස්විස් තානාපති කාර්යාලයේ කටඋත්තර එකිනෙකට පරස්පර විරෝධී බවත් එම සිදුවීම තහවුරු වී නැති බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (16 දා) දහවල් ජනාධිපති මන්දිරයේදී මාධ්‍යවේදීන් අමතා පැවසීය.



මෙම සිද්ධියෙන් වින්දිතයා බවට පත් වී ඇත්තේ එම කාන්තාව නොව තමා යැයි පැවසූ රාජපක්ෂ මහතා සී. සී. ටී. වී. දර්ශන, රියැදුරාගේ ප‍්‍රකාශ සහ අසල්වාසීන්ගේ ප‍්‍රකාශවලින් එවැනි පැහැර ගැනීමක් සිදුවී නැතැයි කීවේය.

ස්විස් තානාපතිතුමා සිය වගකීම ඉටු කළා. එහෙත් අප පරීක්ෂණ පවත්වා තාක්ෂණික ක‍්‍රමවේද මගින් ඇගේ ප‍්‍රකාශය පිළිගත නොහැකි බව ස්විස් බලධාරීන්ට කියා සිටියා යයි ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.

මෙම පරීක්ෂණ සඳහා එම කාන්තාව නිසි සහාය දක්වන්නේ නැතැයි ද රාජපක්ෂ මහතා හෙළි කළේය.

මෙකී පැහැර ගත් බව කියන සිද්ධිය ගැන එකිනෙක තොරතුරු සමාලෝචනය කිරීමේදී එම සිද්ධිය තහවුරු කිරීමේ කිසිදු තොරතුරක් අනාවරණය වූයේ නැතැයි ද රාජපක්ෂ මහතා කීවේය.