රටේ මාධ්‍ය නිදහසට තම පාලන කාලයේදී කිසිදු බලපෑමක් එල්ල නොවන බවට ස්ථිර වශයෙන්ම සහතික වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.

ඕනෑම සාධාරණ විවේචනයකට ඉඩ ඇති අතරම රටට සහ රටේ කීර්ති නාමයට හිතකර මාධ්‍ය මෙහෙවරක නිරත වෙමින් මාධ්‍යයෙන් රටට වියයුතු වගකීම් ඉටුකිරීමට
සියලු මාධ්‍ය ආයතන කටයුතු කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ආරාධනයෙන් ඒ මහතා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර හමුවක් ඊයේ (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අතර එහිදී මේ බව පවසා සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පසුගිය ජනාධිපතිවරණයේදී රටේ ජනාධිපතිවරයා ලෙස ජනතාව තමා තෝරාපත් කර ගත්තේ, අපේක්ෂා රැසක් පෙරදැරි කරගෙන බවත්, දේශපාලනඥයන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යෂමතාව ඉහළ නැංවිම,
දූෂණය පිටුදැකීම සහ ආර්ථික සංවර්ධනය ඒ අතර ප්‍රමුඛ වන බවත් පැවසු ගෝඨාභය රාප්පසෘෂ මහතා, එම අරමුණ ජය ගැනීමේදීද මාධ්‍යයේ සහාය තමා වෙත නොඅඩුව ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද පවසා සිටියි.

එසේම ආයෝජන සහ ආර්ථික සබඳතා ජාත්‍යන්තර වශයෙන් ගොඩනැගීමට රටේ ප්‍රතිරූපය ඉතා වැදගත් වන බැවින්, රටේ ප්‍රතිරූපය ගොඩනැගීමේදීද මාධ්‍යයට පුළුල් වගකීමක් පැවරෙන බවද පෙන්වා දුන් ජනාධිපතිවරයා, පසුගිය දිනවල සංවාදයට ලක් වූ ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරීනියට අදාළ සිදුවීමේදී මෙරට මාධ්‍යවල හැසිරීම පිළිබඳ සිය ප්‍රසාදය පළ කළ බවද අදාළ නිවේදනයේ දැක්වෙයි.

ජාත්‍යන්තර මාධ්‍ය අනවශ්‍ය අන්දමින් එම සිදුවීම  උලුප්පා දැක්වීමට ගත් උත්සාහය පිළිබඳ කනගාටුව පළ කරන බවත්, ඒවා නිවැරදි කිරීමේ හැකියාවද මෙරට මාධ්‍ය සතුව ඇති බවත් ඒ මහතා අවධාරණය කළේය.

එමෙන්ම නගර අලංකරණ කටයුතු මෙන්ම රට පුරා නිර්මාණය වී ඇති චිත්‍ර ඇඳීමේ රැල්ල පිළිබඳවද එහිදී මාධ්‍ය දැනුවත් කළ ජනාධිපතිවරයා, එය කිසිවෙකුගේ ඉල්ලීමක් අනුව ආරම්භ වූවක් නොවන බවත්, රටට ආදරය කරන තාරුණ්‍යය අතරම බිහි වු නිර්මාණශීලී වැඩපිළිවෙළක් බවත් සඳහන් කළ බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මෙම අවස්ථාවට විදයුත් හා මුද්‍රිත මාධ්‍ය නියෝජනය කරමින් මාධ්‍ය ආයතන ප්‍රධානීහු එක්ව සිටියහ.