රජයේ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවලට සුළු සේවකයන් බඳවා ගැනීම අත්හිටුවනැයි මුදල් අමාත්‍යාංශය සියලුම අමාත්‍යාංශලට සහ දෙපාර්තමේන්තුවලට උපදෙස් දී ඇත. අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තූවල සුළු සේවක කාර්ය මණ්ඩල සඳහා සේවකයන් බඳවා ගැනීම මඟින් නම ආධාරකරුවන්ට රැකියා ලබාදීමට
දේශපාලනඥයන්ට ඉඩ ලැබී තිබිණි. සුළු සේවක, කම්කරු , කාර්යාල සහායක සහ මුරකරු යන රැකියා සුළු සේවක කාර්ය මණ්ඩලවලට අයත් විය. එම බඳවා ගැනීම් කිසිදු පාලනයකින් තොරව සිදුවන බව අනාවරණය වී තිබේ. ඉදිරියේදී එවැනි බදවා ගැනීම්, විශේෂයෙන්ම සුළු සේවක කාර්ය මණ්ඩල සඳහා බඳවා ගැනීම් කරන්නේ නම් එසේ කළ යුත්තේ මහ භාණ්ඩාගාරයේ උපදෙස් මත පමණකැයි මුදල් අමාත්‍යාංශය සියලු කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශවලට උපදෙස් දී තිබේ.

අමාත්‍යාංශ ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ට අදාළ උපදෙස් දී ඇති බව ද මහ භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය. බඳවා ගැනීම් සිදුකිරීමේ අවශ්‍යතාවක් ඇත්නම් එම අවශ්‍යතාව මහ භාණ්ඩාගාරයට දැනුම් දිය යුතු බව ද ඔවුන්ට දැනුම් දී ඇත. රාජ්‍ය ආයතනවල අතිරේක සේවකයන් අඩු කිරීමත් රාජ්‍ය ආයතනවලට කාර්ය මණ්ඩල වෙනුවෙන් කරන වියදම් අඩු කිරීමත් මෙම ක්‍රියාමාර්ගයේ අරමුණ වී ඇතැයි ද එම නිලධාරියා කීවේය. එමෙන්ම යෝජිත ක්‍රමවේදයට අනුව බඳවා ගැනීම් සිදු වන්නේ ද නැද්ද යන්න සොයා බැලීම සඳහා මහා භාණ්ඩාගරය ද නිරික්ෂණ ක්‍රමවේදයක් සකස් කර ඇති බව ද ඔහු පැවැසීය.

"මෙම ක්‍රමවේදය මගින් සමානව රැකියා බඳවා ගැනීම සිදු කෙරෙනවා. මේ ක්‍රමය තුළින් එක් ඡන්ද කොට්ඨාසයකට හෝ දිස්ත්‍රික්කයට හෝ රැකියා බෙදී යෑම සිදුවෙන්නේ නැහැ." යැයි ද හෙතෙම කීවේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම නියෝගය දී ඇති අතර හෙතෙම පසුගිය සතියේදී 'බහුකාර්ය සංවර්ධන කාර්ය බළකායක් ස්ථාපිත කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කර ඇත. තෝරාගත් පිරිස්වලට විවිධ ක්ෂේත්‍රවල ඊට ගැළැපෙන පුහුණුව ලබාදෙමින් රාජ්‍ය ආයතනවල පුරප්පාඩු පිරවිමට ආණ්ඩුව බලාපොරොත්තු වන බව ද වාර්තා වේ.

කැබිනට් පත්‍රිකාවට අනුව කර්ය බළකාය යටතේ 1,30,000කට ආසන්න පිරිසක් පුහුණුව ලැබීමට නියමිත අතර මාය හයකට පසුව ඔවුන්ට සේවයට බඳවා ගැනීමට නියමිතය. මෙම පිරිස තෝරාගනු ලබන්නේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ දක්වා හෝ අට චසර හෝ දක්වා ඉගෙන ගත් අයගෙන් බව ද පැවැසේ.  මෙම බහුකාර්ය සංවර්ධන කාර්ය බළකාය ලබන ජනවාරි 15 වැනිදා වෙනම රාජ්‍ය දෙපාර්ෂලතුවක් ලෙස ස්ථාපිත කිරීමට නියමිතය.  පොදු කාර්ය නඩත්තු කිරීම, පාසල්වලට සහාය දීම, රෝහල්වල කටයුතු පවත්වාගෙන යෑමට සහාය වීම, ගම්වැසියන් වනජීවී තර්ජනවලින් ආරක්ෂ කරගැනීම, ආරක්ෂක අංශවල සහ පොලිසිවල කටයුතුවලට සහාය වීම යනාදී කටයුතු සඳහා පුහුණු කරන මෙම සේවකයන් යෙදවීමට නියමිතය.