‘හතේ අපේ පොත’පාසල් සිසුන්ට ලබා නොදෙන ලෙස විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇත.
පසුගිය රජය සමයේ අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව හත ශ්‍රේණියේ සිසු සිසුවියන් වෙනුවෙන් නිකුත් කරනු ලැබූ ආන්දෝලනාත්මක
කතාබහකට ලක්වූ ‘‘හතේ අපේ පොත‘‘ සම්බන්ධයෙන් වාර්තාවද අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම වෙත භාරදී ඇත.

‍මේ සම්බන්ධයෙන් පසුගිය 26 වනදා පස්වරුවේ හතේ අපේ පොත සකස් කිරීම සඳහා කටයුතු කළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍යවරුන් කිහිප දෙනෙකු ඇතුළු නිලධාරීන්
පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශයට කැඳවා තිබූ අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද සමඟ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේදී එහි පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා විය.

ශ්‍රී ලංකා සිතියමෙහි පළාත් වෙන් කිරීමේදී යොදා ඇති වර්ණ සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් මෙන්ම සිංහල අලුත් අවුරුද්ද වර්ගීකරණය කර ඇති ආකාරය සම්බන්ධ ගැටළු කිහිපයක්ද දීර්ඝ වශයෙන් සාකච්ඡාවී ඇත.

කෙසේ වෙතත් එම පොත පාසල් සිසුන්ට ලබා නොදෙන ලෙසට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සියළුම විදුහල්පතිවරුන්ට සහ පෙළ පොත් බෙදා හැරීමේ මධ්‍යස්ථානාධිපතිවරුන්ට දැනුම් දී ඇති අතර අදාළ පෙළපොත සිසුන් අතට පත්වී ඇත්නම් නැවත එය ලබා ගැනීමට කටයුතු කරන ලෙසද අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්. ජයන්ත වික්‍රමනායකගේ අත්සනින් යුතුව සියළුම විදුහල්පතිවරුන්ට සහ පෙළ පොත් බෙදා හැරීමේ මධ්‍යස්ථානාධිපතිවරුන්ට දැනුම් දී ඇත.