රුපියල් හැට දහසක් ගෙවා ගිය දඹුල්ලේ හෝටලයක ගඳ ඉවසනු බැරිව සංචාරකයන් තිදෙනකු පොලිසියට
පැමිණිලි කර පිටව යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කර වාර්තාවක් දෙන්නැයි කාර්මික
අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සංචාරක
සංවර්ධන අධිකාරියට නියෝග කළේය.


නෙදර්ලන්තයේ සිට මෙරටට පැමිණි සංචාරකයන් තිදෙනකු ලැගුම්ගත් හෝටලය දැඩි ලෙස අපිරිසුදු බව
පවසා දඹුල්ල මූලස්ථාන පොලිසියට පසුගිය 24දා මධ්‍යම රාත්‍රියේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මේ පිළිබඳව ඊයේ (26දා) පුවත්පත්වල පළ වූ වාර්තා ගැන ඇමැතිවරයාගේ අවධානය යොමු වීමෙන්
අනතුරුව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරිය හා අධ්‍යක්ෂ ජනරාල්වරියට උපදෙස් දුන්නේ මේ
සම්බන්ධයෙන් වහාම සොයා බලා පියවර ගන්නා ලෙසයි. පොලිසියට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ
නෙදර්ලන්ත ජාතික වෛද්‍යවරියක් හා නීතිඥවරියන් දෙදෙනෙකි. දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශයේ
සංචාරක ලැගුම්හලක දින තුනක කාලයක් නැවතීම සඳහා මෙම පිරිස රුපියල් හැටදහසක මුදලක් හෝටලයට
ගෙවා ඇති බවත් එක රැයක් ගත කරද්දී හෝටලය ඇතුළත වැස්සට තෙමීම, දැඩි දුර්ගන්ධය හා වැසිකිළි
අපිරිසුදුතාව නිසා තමන් අපහසුතාවට පත් වූ බවත් මෙම සංචාරකයන් තිදෙනා දඹුල්ල මූලස්ථාන පොලිසියට
කළ පැමිණිල්ලේ සඳහන් වේ.

වෙනත් හෝටලයකට යෑම සඳහා තමන් ගෙවූ මුදලින් එක් රාත්‍රියකට අය කරගෙන ඉතිරි මුදල් දෙන ලෙස
එම හෝටල් කළමනාකාරිත්වයට දැනුම් දුන්නද කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා ඔවුන් මඟහරින බවද
පැමිණිල්ලේ සඳහන්ව තිබේ.

මෙවැනි සිද්ධීන් මඟින් ශ්‍රී  ලංකාවට දැඩි අපකීර්තියක් වන බව පෙන්වා දෙන ප්‍රසන්න රණතුංග මහතා
මෙවැනි තත්ත්වයන් ඉදිරියේදී ඇති නොවීමට වග බලා ගන්නා ලෙසද සංචාරක සංවර්ධන අධිකාරියට
උපදෙස් දුන්නේය.

උපතිස්ස පෙරේරා