කොළඹ හයිඩ්පාර්ක් කෝනර්හි පිහිටි ප්‍රධාන පෙළේ සුපිරි වෙළඳ සංකීර්ණයක් ඉදිරිපිට වයස අවුරුදු 5 1/2ක කුඩා දරුවකු යොදාගෙන සිඟමන් යදිමින් සිටි 51 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවිදීය පොලිසිය කියයි.  මෙම සුපිරි වෙළඳසලට පැමිණෙන දෙස් විදෙස් පිරිස් වෙත දරුවා පෙන්වා සැකකාරිය
දිනකට රුපියල් 30,000ට වැඩි මුදලක් උපයා ගන්නා බව ද පැවසේ.  අධික අව්රශ්මිය මැද කාන්තාවක් කුඩා දරුවකු යොදාගෙන සිගමනේ යෙදෙන බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත පෙරේදා (29) සැකකාරි අත්අඩංගුවට ගෙන ඇත.

තමාගේ දරුවා බව පවසමින් සැකකාරිය පොලිසිය වෙත දරුවාගේ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ පරික්ෂණයේ දී එම උප්පැන්න සහතිකය ව්‍යාජ එකක් බවට හෙළි වූ බවත් පොලිසිය සඳහන් කරයි. පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීමේ දී මෙම දරුවාගේ මවුපියන් කිරිඳිවැල ප්‍රදේශයේ

පදිංචිව සිටින බවත් මෙම කාන්තාව දරුකමට හදා ගැනීම සඳහා යැයි පවසමින් දරුවා මීට වසරක පමණ කාලයකට පෙර රැගෙන ගොස් ඇති බව ද පොලිසිය සඳහන් කරයි.

සැකකාරියගේ පුතා යුද හමුදාවේ සේවය කරමින් සිටිය දී මිය ගිය බවත් පුතා මතක්වීම සඳහා මෙම දරුවා ඇති දැඩි කරන බවට සැකකාරිය පොලිසියට ප්‍රකාශ කළ ද සැකකාරියගේ දරුවන් දෙදෙනකු සිටින බවත් කිසිදු දරුවකු හමුදාවේ සේවය කර නොමැති බව ද පොලිසිය කියයි.  එම දරු දෙදෙනාගෙන් එක් දරුවකු ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින්නකු බවත් අනෙක් දරුවා විවිධ වැරදි සම්බන්ධයෙන් වරින් වර බන්ධනාගාරගතව සිටින බව ද පොලිසිය පවසයි.

මෙම කාන්තාවගේ මව ද මෙම යාචක වෘත්තියේ යෙදෙන බවට පොලිසිය තොරතුරු හෙළිකරන්ගෙන ඇත. සැකකාරිය බාරයේ සිටි දරුවා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමුකර පරික්ෂාවට ලක්කර ළමා රෝහල වෙත ඇතුළත් කළ බව ද පොලිසිය පවසයි.

-ඉන්දික රාමනායක-