වලයාකාර සූර්යග්‍රහණය ඊයේ (26 වැනිදා) පෙරවරුවේදී ශ්‍රී ලංකාවට දිස් විය. මීට පෙර අවසන් වරට වලයාකාර සූර්යග්‍රහණයක් ශ්‍රී ලංකාවට දිස් වූයේ 2010 වසරේදීය. මෙම සූර්යග්‍රහණය වඩාත් හොඳින් දිස් වූයේ උතුරු ප්‍රදේශයටය.
මෙම සූර්යග්‍රහණය නිරීක්ෂණය කිරීමේ ප්‍රධාන උත්සවය තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය ඇමැති තිලංග සුමතිපාලගේ ප්‍රධානත්වයෙන් යාපනය විශ්වවිද්‍යාලයේදී පැවැත්වුණි.

ඊයේ (26 වැනිදා) පෙරවරු 8.10 සිට පෙරවරු 11.24 දක්වා වූ කාලයේ මෙය නිරීක්ෂණය වූ අතර වලයාකාර ස්වරූපය පෙරවරු 9.35 සිට පෙරවරු 9.38 දක්වා වූ විනාඩි තුනක කාලයේ දිස්විය. සම්පූර්ණයෙන් වලයාකාර ස්වරූපය දිස් වුණේ පෙරවරු 9.37 ටය.

මෙම සූර්යග්‍රහණය පැවති අවස්ථාවේ පරිසරය ද අඳුරු ස්වභාවයක් ගත්තේය. නවීන තාක්ෂණය පිළිබඳ
ආතර් සී. ක්ලාක් ආයතනය, ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය, කොළඹ සහ යාපනය විශ්වවිද්‍යාලයන්හි භෞතික විද්‍යා අධ්‍යනාංශයන් මගින් මෙය නිරීක්ෂණය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී. සූර්යග්‍රහණ නිරීක්ෂණය කිරීම සඳහා විශාල ජනතාවක් යාපනයට පැමිණ සිටි බව තාරකා හා අභ්‍යවකාශ විද්‍යායතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න පැවසීය.

නැවත වරක් වලයාකාර සූර්යග්‍රහණයක් මෙරටට දිස්වන්නේ 2031 වසරේ මැයි 21 වැනිදාය.

මෙම සූර්යග්‍රහණය සිදුවන අවස්ථාවේ යාපනය ප්‍රදේශයේ උෂ්ණත්වය එකවර වැඩි වී අඩුවීමක් සිදු වූ බව ද මහාචාර්ය චන්දන ජයරත්න කියයි.

කාලයකට පසු ඉතා හොඳ කාලගුණික තත්ත්වයක් පැවති නිසා බලාපොරොත්තු වූ ආකාරයටම වලයාකාර ග්‍රහණයක් අපට යාපනයේදී දකින්න පුළුවන් වුණා. මෙම වලයාකාර සූර්යග්‍රහණය නැරඹීම සඳහා දහස් ගණනක් පිරිස යාපනයට පැමිණ සිටියා. මෙම වලයාකාර සූර්යග්‍රහණය පිළිබඳ පරීක්ෂණ රැසක්ද සිදු කෙරුණා. කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා අංශයෙන් මෙම සූර්යග්‍රහණය නිරීක්ෂණය කිරීම සඳහා දත්ත මධ්‍යස්ථානවලට කණ්ණාඩි 260 ක් ලබා දී තිබුණා. ඒ ස්ථානවල කටයුතුද හොඳින් සිදු කෙරුණා. සූර්යග්‍රහණය අවස්ථාවේ උෂ්ණත්වයේ ලොකු අඩුවීමක් සිදු වී තිබුණා. වලයාකාර සූර්යග්‍රහණය පැවති අවස්ථාවේ ගුරුත්වාකර්ෂණය මැනීමක්ද සිදු කෙරුණා. යාපනයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ට ඉහළ ගොස් 26 දක්වා අඩුවුණා’‘ යැයි මහාචාර්ය චන්දන ජයරත්න වැඩිදුරටත් පැවසීය.

සාලිය කුමාර ගුණසේකර