වසර පහක පමණ කාලයක් තිස්සේ වසා දමා තිබෙන ජාතික කලාභවනේ ප්‍රතිසංස්කරණ කටයුතු ලබන ජනවාරියේ සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි සංස්කෘතික කටයුතු අධක්ෂිකා අනූෂා ගෝකුල මහත්මිය පෙරේදා (18) පැවසුවාය.  මේ සඳහා රුපියල් මිලියන සියයක් වෙන්ව ඇතැයිද ජාතික කලාභවනේ ප්‍රතිසංස්කරණ කටයුතු ප්‍රමාද වීම සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් ගෝකුල මහත්මිය පැවසුවාය.

“කලාභවනේ ප්‍රධාන ශාලාව දෙපැත්තෙන් මහල් ගොඩනැගිලි දෙකක් ඉදිකිරීමටත්, ප්‍රධාන ශාලාව ප්‍රතිසංස්කරණය කිරිමටත් තමයි සැලැසුම් වුණේ. මේ සඳහා වසර ගණනාවක් තිස්සේ ප්‍රතිපාදන වෙන් නොවීමේ ගැටලුවක් තිබෙනවා. ඒ වගේම අප මේ කාර්යය බාරදුන්නේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවටයි.
ඔවුන් දිගු කාලයක් තිස්සේ වැඩේ කරන බව පවසමින් සිට පසුව තමන්ට ඒක කරන්න බැහැ කිව්වා. ඒ නිසා අප තීරණය කළා මොරටුව විශ්වවිද්‍යාලයත් සමග එක්ව මේ කාර්යය කරන්න. මේ වසරේ අප්‍රේල්වල තමයි ඒ සඳහා මුදල් රුපියල් මිලියන සීයක්ම වෙන් කෙරුණේ.

දැන් අපි පුවත්පත් දැන්වීම් පළ කර ටෙන්ඩර් කැඳවා ලබන ජනවාරි වන විට වැඩ ආරම්භ කිරිමට අවශ්‍ය කටයුතු කරගෙන යනවා යැයි ඇය වැඩිදුරටත් පැවසුවාය. ප්‍රතිසංස්කරණයකට ලක් නොවීම නිසා ජාතික කලාභවනේ වහල හා වැහිපීලි දිරාපත්වීම නිසා වැස්සට තෙමෙමින් එහි  ප්‍රධාන ශාලාවේ ප්‍රදර්ශනය කර තිබූ ලෝක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පීන් විසින් අඳින ලද සුප්‍රසිද්ධ චිත්‍රවලට හානි සිදුව තිබිණ. ඒ අනුව එහි  තිබූ චිත්‍ර ඉවත් කර දැමූ අතර පසුව ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා කලාහවත වසා දමන ලද්දේ 2015දීය. එහි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මිලියන 42ක් වෙන්කිරීමට 2018දී කැබිනට් තීරණයක් ගෙන තිබුණද මෙතෙක් එය ක්‍රියාත්මක නොවිණි.