කටුනායක ගුවන්තොටුපළේ මගී තදබදය අවම කිරීමට පියවර ගැනේ. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි එය ක්‍රියාවට නැංවේ.
කටුනායක ගුවන් තොටුපළේ කාර්යබහුල වේලාවන් වන රාත්‍රි 11 සිට අලුයම 02 දක්වාත් අලුයම 04 සිට උදෑසන 07 දක්වාත් දැඩි තදබදයක් පවති. ඇතැම් දිනවල මෙම කාලය තුළ පැයකට ගුවන් යානා 11 ක් පමණ ගුවන් තොටුපළට පැමිණේ. ඇතැම් දිනවල පැයකට ගුවන් යානා 11 ක් පමණ
ගුවන් තොටුපළින් නික්ම යයි. මේ තත්ත්වය නිරීක්ෂණය කල ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගුවන් තොටුපල ගුවන් සේවා සමාගමේ  සභාපති ජි.ඒ චන්ද්‍රසිරි මහතාට හා උපසභාපති රජීව් සූරියආරච්චි මහතාට උපදෙස් දුන්නේ ගුවන් තොටුපළ තුළ පවතින මගී තදබදය නැති කිරීමට වහා පියවර ගන්නා ලෙසයි. ඒ සදහා  ගුවන් තොටුපළ තුළ ආගමන විගමන ක්‍රියාවලිය කාර්යක්ෂම කරන ලෙස ද ඒ සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස ද ඇමතිවරයා උපදෙස් දුන්නේය.
ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි ආගමන විගමන නිළධාරින් හා ගුවන් තොටුපළ බළධාරින් අතර පසුගිය දා මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් කටුනායක ගුවන් තොටුපළේ දි පැවැත්විණි.
මේ වන විට කටුනායක ගුවන් තොටුපළේ පිටවීමේ පර්යන්තයේ ගුවන් මගීන් වෙනුවෙන් වීසා කවුළු 19 ක් ඇති අතර පැමිණිමේ පර්යන්තයේ කවුළු 25 ක් ක්‍රියාත්මක වේ. එම කවුළු සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බව ආගමන විගමන දෙපාර්තුමේන්තුව හා ගුවන් තොටුපළ හා ගුවන්සේවා සමාගමේ නියෝජිතයන්  අතර පැවති සාකච්ඡාවේ දි අනාවරණය විය. ඒ අනුව එම කවුළු සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කෙරිණි. ඊට අමතරව මෙම සියලුම කවුළු සදහා ආගමන විගමන නිළධාරියෙකු යෙදවීමට තිරණය කෙරිණි. වීසා සම්බන්ධයෙන් මගීන්ට කිසියම් ගැටළුවක් මතු වුවහොත් ඒ අවස්ථාවේ දි ම ඊට විසදුම් ලබා දිම අරමුණයි.

ගර්භනි මාතාවන් හා විශේෂ අවශ්‍යතා ඇති අය වෙනුවෙන් වෙනම වීසා කවුළුවක් වෙන් කෙරේ. ඊට අමතරව ගුවන් මගීන් සදහා මාර්ගෝපදේශ ලබා දීමේ වැඩ පිළිවෙලක් ද ගුවන් තොටුපල තුළ ක්‍රියාවට නැංවේ. එම වැඩ පිළවෙල ගුවන් තොටුපළ ආරක්ෂක අංශය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. විදේශ ගත විම සදහා පැමිණෙන ගුවන් මගීන් රටින් පිටවන තුරු හා දිවයිනට පැමිණෙන ගුවන් මගීන් ගුවන් තොටුපලෙන් පිටවන තුරු ඔවුන්ට අවශ්‍ය සහාය ලබා දිම මෙ අනුව සිදු කෙරුණු ඇත.