ස්විස් තානාපති කාර්යාලයේ සිද්ධියට අදාළ නිලධාරිනියට එම තානාපති කාර්යාලයෙන් ඉවත් වන ලෙස දැනුම් දෙන්නට පවා සිදුවනු ඇතැයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය  අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ (17) ප්‍රකාශ කළේය. එසේ ඉවත්
වන්නැයි දන්වන්නට පෙර ස්වකැමැත්මනන් ඉවත් වන්නේ නම් එය වඩාත් අගනේ යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා කීය.  ඇය පැහැරගෙන ගිය බව කියන සිද්ධිය ගොතන ලද්දක් බව මේ වනවිට හෙළි වී අවසන් බවත් එම සිද්ධියෙන් ලෝකය ඉදිරියේ රට අපකීර්තියට පත්කිරීමට ඇය උත්සාහ දරා ඇතැයි පෙනෙන බවත් අබේවර්ධන මහතා පැවසීය. රටේ ප්‍රබෝධයක් පවතින අවස්ථාවේ මෙවැනි උත්සාහයන් තුළින් රටේ ප්‍රතිරූපයට හානි සිදුවන්නේ යැයි ද හෙතෙම කියා සිටියේය. රාජ්‍ය අමිත්‍යවරයා මේ අදහස් පළ කළේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවක් අමනමිනි.

සුදු වෑන් සිද්ධිය ගැන කරුණු හෙළිවෙමින් පවතින බව කී රාජ්‍ය අමාත්‍යවරයා ඒ සදහා රුපියල් ලක්ෂ විස්සක් ඖෂධ සංස්ථාවේ සභාපතිවරයාගෙන් ලබාගෙන ඇති බවට ඔවුන් පවසා ඇති බව ද කීය. රාජිත සේනාරත්න මහතා සමඟ මාධ්‍ය හමුවට වාඩිවූ දෙදෙනා දේශපාලන වුවමනාවක් වෙනුවෙන් ක්‍රියා කර ඇති බවත් කනගාටුවට කරුණ මොවුන් මේ මාධ්‍ය හමුවට වැඩිය කරවූයේ කවුද යත්න බවත් ඔහු පැවැසීය. මෙසේ මාධ්‍යයට ගෙනැවිත් වාඩිවු පුද්ගලයා, 2012 අප්‍රේල් මාසයේ දි කොටහේනේ පෞද්ගලික බැංකුවක මුදල් රැගෙන යද්දි කොල්ලකෑම, බෙල්ලන්විල මිනිස් ඝාතනයක් සිදු කිරීම, 2013 අප්‍රේල් 5 වැනිදා තවත් පෞද්ගලික බැංකුවකින් මුදල් ගෙන යද්දී පිහියකින් ඇන රුපියල් දශලක්ෂ  පහළොස් දහසක් කොල්ලකෑම, 2013 දි ජාඇල ඇගලුම් කම්හල් හිමියකුගෙන් රුපියල් ලක්ෂ 75 ක් කොල්ලකෑම, පිටකොටුවේ ස්වර්ණාභරණ අලෙවිහලකින් කෝටි තුනහමාරක් වටිනා විදේශ මුදල් කොල්ලකෑම, ගල්කිස්ස ප්‍රදේශයේ මත්කුඩු ජාවරම්කරුවකු පැහැරගෙන ගොස් ඝාතනනය කර ආරක්ෂක අංශ කළේ යැයි පෙන්වීමට උත්සහ කිරීම, යන අපරාධවලට චෝදනා ලබා සිටින අයකු බව ද හෙතෙම කීය.

රට ජාත්‍යන්තර අපකීර්තියට පත්කිරීමට උත්සාහ කිරීමේ මෙවැනි සිද්ධි තවත් ඉදිරියට ඇතිවනු ඇති බවත් නිසා  ඉතාමත් පරිස්සමින් ඒ පිළිබඳව සොයා බලන බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.මේ වනවිට රට අලුත්  මාවතකට පිවිසෙමින් සිටින බැවින් රට ලස්සනට තබා ගැනීමට අවශ්‍ය බව තරුණ පරපුරට කිසිවකු කියා නොව ඔවුන්ගේ අදහස් අනුව රට ලස්සන කරමින් සිටින බවත් කී රාජ්‍ය ඇමැතිවරයා රටට විනයක් ඇතිවෙමින් පවතින බව ද සඳහන් කළේය. මේ ප්‍රබෝධය රට ගැන  සංස්කෘතිය ගැන හැඟීමක් ඇති වෙමින් පවතින නිසා බව ද  ඔහු කීය. මෙවැනි පරිසරයක් යටතේ සිදුකෙරෙන රංගන සිතා මතා කරන ලද ඒවා බව ඉතාමත් ඉක්මනින් හෙළි කළ හැකි වන බව ද ඔහු කියා සිටියේය. සියලු උපාධිධාරින්ට රැකියා ලබා දිමේ ව්‍යාපෘතිය අද හෙටම ඇරඹෙන බවත් පක්ෂ පාට හෝ වෙනත් බේද නොසලකා සියලු උපාධිධාරීන්ට ඔවුන් උපාධිය ලබාගත් වර්ෂය අනුව අනුපිළිවෙළට රැකියා ලබා දීම අනිවාර්යයෙන් සිදුකෙරෙන බැවින්, මේ වනවිට උපාධිධාරින් 54000 කට රැකියා ලබා දිය යුතුව ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

රජයේ ප්‍රතිපත්තිය වටහාගන්නැයි උපාධිධාරින්ගෙන් ඉල්ලා සිටි අමාත්‍යවරයා ඉකුත් රජය කැමති කැමැති අයට රැකියා දී ඇති කරගන් අවුල පවත්වාගෙන නොයන බවත් පාක්ෂිකත්වය අනුව නොව උපාධිය ලැබූ වර්ෂය අනුව රැකියාව ලැබෙන බව විශ්වාස කරන්නැයි ද ඉල්ලා සිටින බවත් කීවේය. මේ සඳහා විවිධ ස්ථාන වල ලියාපදිංචි වීමට කාලය නාස්ති නොකරන්නැයි ද කිසිවකු පසුපස නොයන්නැයි ද ඉල්ලා සිටි අබේවර්ධ මහතා රස්තියාදු නොවි බදවාගැනීමේ ක්‍රමවේදය  ප්‍රකාශයට පත් කළ පසු ඒ සදහා ඉදිරිපත් වන්නැයිද   උපාධිධාරියෙන් ඉල්ලීමක් කළේය.  සුළු සේවකයන් බදවා ගැනීම ජනවාරි 15 සිට සිදුකරන බවත් ඒ සදහා ජනාධිපතිවරයා කී පරිදි දිළිඳු පවුලින් සුළු සුදුසුකම් මත රැකියා ලබා දෙන බවත් පැවසූ අබේවර්ධන මහතා මුදල් ඉපැයිම සංදහා විවිධ අයගේ නම් භාවිත කරන අයට නොරැවටෙන්නැයි ද ජනතාවගෙන් ඉල්ලාසිටියේය. සෑම වසමකටම රුපියල් ලක්ෂ පනහක ව්‍යාපෘතියක් ලබාදිමේ වැඩපිළිව‍ෙළ යටතේ පළමු ලක්ෂ විස්ස නිකුත් කරන ලද බැවින්, එය කවර ව්‍යාපෘතියකට ද යන්න තීරණය වන්නේ ගම් මහජන නියෝජිතයා ප්‍රමුඛ සමෘද්ධි නිලධාරි, ග්‍රාම නිලධාරි, කෘෂි පර්යේෂණ නිලධාරි සහ ආර්ථික සංවර්ධන නිලධාරි යන නිලධාරින්ගෙන් යුත් කමිටුවක් මඟින් බවත් අබේවර්ධන මහතා පැවසීය.

මිට පෙර සිදු වූයේ ගමේ මූලික අවශ්‍යතා ඉටුවිම නොව මහජන නියෝජිතයාට අවශ්‍ය දේ පමණක් බවත් ඉදිරිය‍ෙදි තනිමතයට සංවර්ධන ව්‍යාපෘති සිදුනොවන බවත් අබේවර්ධන මහතා ප්‍රකෘශ කළේය.  මාධ්‍යවේද්දීන් වෙනුවෙන් රජය ඉදිරියේ දි ගන්නා පියවර ගැන අදහස් දැක්වූ අමාත්‍යවරයා ඔවුනගේ නිපුණත්වය වැඩි කිරීම සඳහා රජය මැදිහත්ව ජාතික පුහුණු ආයතනයක් ආරම්භ කිරීමට කටයුතු කරන බව කීය. නාගරික නිවාස සංකීර්ණයක් ද සහන ණය ක්‍රමයක් ද ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි පැවසූ අබේවර්ධන මහතා අර්ධකාලිනව සපයන මාධ්‍යවේදින්ට තම කටයුතු සඳහා එකතු විය හැකි මධ්‍යස්ථානයක් ප්‍රාදේශීය මට්ටමින් පිහිටුවා දිස්ත්‍රික් මධ්‍යස්ථානවලින් ඒවා සම්බන්ධ කරන බව ද පැවැසීය.

පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා ගේ රියැදුරුගේ බිරිද, මව හා දරුවා බලෙන් කොළඹට ගෙන ආ බවට නැගෙන චෝදනාව ගැන මාධ්‍යවේදියකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අබේවර්ධන මහතා පැවැසුවේ ඔවුන් ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණ ඇති නමුත් කිසිවකු පැහැරගෙන යෑමක් හෝ බලෙන් ගෙන ඒමක් සිදුව නැති බවය. ඕනෑම තැනක දි කටඋත්තරයක් දීමට ඔවුන් කැමැත්ත පළ කර ඇතැයි පොලිස් ස්ථානාධිපතිවරයා දැනුම් දී ඇතැයි ද ඇමැතිවරයා කීය.

-වීනිතා එම්.ගමගේ-