සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක් හවුස්) නව මාධ්‍ය අංශයේ හිටපු  ප්‍රධානී මධුක තක්සල මහතාට පහරදීමට සම්බන්ධවූ එම ආයතනයේ සේවක පිරිසට විනයානුකූල පියවර ගන්නා මෙන් එක්සත් ජාතික
පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.

ලේක්හවුස් ආයතනයේ 'රැස' කාර්යාලයට පසුගිය 10 වැනිදා කඩාවැදුණු ශ්‍රීලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ මාධ්‍යවේදීන් හා පුද්ගලයන් කිහිප දෙනෙකු මධුක තක්සල මහතා බලහත්කාරයෙන් ඉවතට ඇදගෙන ගොස් පහරදී අඩන්තේට්ටම් කර තිබෙන බවද මහලේකම්වරයා සඳහන් කරයි.

2001 වසරේ හෝ 2015 වසරේ ආණ්ඩු මාරු සිදුවුණු අවස්ථාවන්හි රජයේ මාධ්‍ය ආයතනයක කිසිදු පුද්ගලයෙකුට ආර්ථික හා මානසික පීඩාවක් ගෙන දෙන ආකාරයේ සිදුවීම් නොවුණු බවත්, විනය ගරුක රටක් බිහිකරන බවට පොරොන්දු දී බලයට පැමිණි පිරිසක් මේ ආකාර කටයුතු කිරීම පිළිබඳ බලවත් පිළිකුලක් ඇති වන බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

මේ අයුරින් මාධ්‍යවේදීන්ට සිය ආයතන තුළදීම අඩන්තේට්ටම් කිරීමේ ක්‍රියාවලියට බලවත් විරෝධය පළ කරන බවත්, රාජ්‍ය මාධ්‍ය ආයතන භාර අමාත්‍යවරයා වශයෙන් බන්දුල ගුණවර්ධන මහතා වහාම මේ පිළිබද විනයානුකූල පියවර ගත යුතු බවත් කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

අමිත්  මධුරංග