මාකදුරේ මධුෂ්ගේ දෙවැනි බිරිඳ ඩුබායි සිට මෙරටට පැමිණෙමින් සිටියදී පෙරේදා (28)  පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලෙදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින්
අත්අඩංගුවට ගනු ලැබ ඇත. මාස 6 ට අධික කාලයක් තිස්සේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින මාකඳුරේ මධුෂ් බැලීම සඳහා ඇය සිය දරුවා සමග පෙරේදා පෙරවරු 8.00 ට පමණ මෙරටට පැමිණ ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම කාන්තාව මීට පෙර
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වූ කළු තුෂාර නැමැත්තා සමග විවාහ වී සිට ඇති අතර 2012 නොවැම්බර් මස 09 වැනි දින වැලිකඩ කැරැල්ලේදි කළු තුෂාර නැමැත්තා මිය යාමෙන්
පසු ඇය මාකඳුරේ මධුෂ් සමග හිතවත් වූ ඔහු සමග ඩුබායි හි වාසය කර ඇත.  දිලිනි ඉෂාරා නමැති මෙම කාන්තා හා මධුෂ්ගේ දියණියගේ පළමු උපන් දිනය ඉකුත් පෙබරවාරි මස 5 දින ඩුබායි හි තරු පන්තියේ හෝටලයක පැවැත්වෙමින් තිබියදී එරට පොලිසිය සාදයට කඩා වැදී මධුෂ් ඇතුළු 31 දෙනෙක් අත්අඩංගුට ගනු ලැබූහ.

අත්අඩංගුවට ගත් පිරිය වරින් වර ලංකාවට පිටුවහල් කළ අතර මාකඳුරේ මධුෂ් මැයි මස 5 වැනි දින මෙරටට පිටුවහල් කිරීමෙන් පසු ඔහු තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් පසුවෙයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  මූලස්ථාන විශේෂ කණ්ඩායමක් ඇයගෙන් ප්‍රශ්න කිරීම සඳහා ගුවන් තොටුපොළ වෙත ගොස් තිබිණ.

-ඉන්දිකා රාමනායක-