විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගම සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ට විදේශගත වීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඊයේ (10) අවසර දුන්නේය.

රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අද (17) සිට ලබන ජනවාරි 15 වැනිදා තෙක් සිංගප්පූරුවට හා ස.තො.ස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු මහතාට මෙම මස 25 වැනිදා සිට ලබන ජනවාරි 15 වැනිදා තෙක් එංගලන්තයට යෑම සඳහා එයේ අවසර ලැබුණු අතර එම කාල සීමා තුළ
ඔවුන්ට අධිකරණයෙන් පනවා තිබූ විදෙස් ගමන් තහනම ද තාවකාලිකව ඉවත් කෙරිණි.

මෙම නඩුව මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ (සභාපති), ශෂී මහේන්ද්‍රන් හා අමල් රණරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ කැඳවිණි.

නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ ඉල්ලීමකින් පසුව මෙම අවසරය ලැබිණි.

2014 වසරේ සැප්තැම්බර් 01 වැනිදා සිට එම වසරේ දෙසැම්බර් 31 දක්වා අතර කාලයේදී එම වකවානුවේ පැවැති ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සතොස ආයතනය හරහා ආනයනය කරන ලද රුපියල් මිලියන 53ක් වටිනා කැරම්බෝඩ් දාහතර දහසක් හා දාම් ලෑලි එකොළොස් දහසක් දේශපාලන ක්‍රියාකාරකම් සඳහා බෙදාහැරීමෙන් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදු කළ බවට විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.

මෙම නඩුවේ පරිගණක සාක්ෂි පරික්ෂාවක් සඳහා ලබා දුන් කාල සීමාව ඉක්මවා ඇති බැවින් එම සාක්ෂි කැඳවීමට අවසර නොදෙන ලෙස විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉල්ලා සිටියහ.

ඒ පිළිබඳ නියෝගය ජනවාරි 31 වැනි දින ප්‍රකාශ කරන බව අධිකරණය ඊයේ (16) දැනුම් දුන්නේය.

රංජන් කටුගම්පොළ සහ තිළිණි ද සිල්වා