මාතලේ - රජ්ජම්මන වනජීවී කලාපයේ ඊයේ (15) දහවල් සිදුකළ වන අලි මෙහෙයුමක් අතරතුරදී වන අලියකු පහරදීමෙන් වනජීවී අඩවි සහකාර නිලධාරියකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත.
මියගොස් ඇත්තේ රත්තොට, කුඹල්ඔලුව පදිංචි 42 හැවිරිදි මෛත්‍රී මධුශාන් වික්‍රමසිංහ නම් වූ එක්දරු  පියකු
වන අතර මොහු රජ්ජම්මන
වනජීවී  කාර්යාලයට අනුයුක්ත නිලධාරියෙකි. නාඋල , ලිහිනියපිටිය ප්‍රදේශයේදී වන අලි පහරදීමකින් දස සිල් මාතාවක මියයාමත්, එම ප්‍රදේශ ආශ්‍රිතව ජන ජීවිතයට බාධා කරමින් සැරිසරන වන අලි කණ්ඩායමක් පලවාහැරීම  සඳහා මෙම මෙහෙයුම පෙරේදා (14) ආරම්භක කර ඇත.

මාතලේ - උතුරු මාතලේ ප්‍රදේශයේ වන අලින් සිටින ඉසව්වක් සෝදිසි කරන  අතරතුරදී මියගිය නිලධාරියා පිටුපස වන අලියා පන්නාගෙනවිත් පහරදී ඇත.. වනජීවි නිලධාරියා මියගිය ස්ථානයේ වන අලි රංචුවක් ගැවසීම නිසා මහත් පරිශ්‍රමයක් දරා ඔහුගේ මළසිරුර ඉවතට ගැනීමට සිදුවිය. මියගිය වන ජීවි නිලධාරියා මීට වසර හතරකට පමණ පෙරද වන අලියකුගේ පහරකෑමට ලක්ව දිවි ගලවාගතෙකි. මියගිය අයගේ මළසිරුර මාතලේ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත. මහවෙල පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

-මහේෂ් කිර්තිරත්න-