ඇමෙරිකාවෙන් ලැබෙන සෑම දෙයකටම විරුද්ධවීමේ කුහකකමක් හෝ මෝඩ කමක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

පෙරේදා (07දා) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

ඇමෙරිකා මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම හරහා ඉදිරිපත් කර ඇති ප්‍රවාහන ව්‍යාපෘතියට විරුද්ධ නොවන බවත් ඒ සඳහා අදාළ ප්‍රධාන මුදලෙන් සියයට 70ක් වෙන්කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය.


“එම ගිවිසුම සම්බන්ධයෙන් අපේ ස්ථාවරය ඉතාම පැහැදිලියි. අප හැමදාමත් ඒක කිව්වා. ඒ තමයි MCC ගිවිසුම තුළ ව්‍යාපෘති දෙකක් තියෙනවා. ප්‍රවාහන ව්‍යාපෘතිය සහ ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය. වැඩි මුදලක් වෙන් වන්නේ ප්‍රවාහන ව්‍යාපෘතියට. එනම් 70%ක මුදලක් වෙන් වන්නේ ප්‍රවාහන ව්‍යාපෘතිය සඳහා. 30% අඩු මුදලක් තමයි ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා වෙන් වන්නේ.

ප්‍රවාහන ව්‍යාපෘතිය සඳහා අපේ කිසිදු විරෝධතාවක් නැහැ. ඇමරිකාවෙන් එන හැම දෙයටම විරුද්ධ වන කුහකකමක් හෝ මෝඩ කමක් නැහැ.
රටට හානියක් වන දේට විතරයි අප විරුද්ධ වෙන්නේ. ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි. අපි ඉල්ලුවා ප්‍රවාහන ව්‍යාපෘතිය විතරක් කරමු කියලා.

නමුත් ඇමරිකාව කියනවා කරනවා නම් දෙකම කරමු එකක් විතරක් කරන්න අපට බැහැ කියලා. ඒකෙන්ම පේනවා ඇමරිකාව ප්‍රවාහන ව්‍යාපෘතියටත් සල්ලි දෙන්නේ ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය කර ගැනීමේ යටි අරමුණින් කියන එක.

ඇමෙරිකාව යෝජනා කරන ආකාරයේ සමස්තය කරන්න අප සූදානම් නැහැ. නමුත් ප්‍රවාහන ව්‍යාපෘතිය පමණක් කරන්න අපේ කිසිම විරෝදයකුත් නැහැ. ලෙස මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

නමුත් ජනාධිපතිවරණය පැවතී සමයේ ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ වහාම MCC ගිවිසුම කුණු කූඩයට දමන බවයි.