"රටේ වැදගත්ම ආයතන එකසිය පනස්  ගණනක් රාජපක්ෂවරුන් අතරේ බෙඳී යද්දී රාජ්‍ය අමාත්‍යවරුන් 38 දෙනකු කිසිඳු විෂයක් නැතිව පිං පස් සහ වරප්‍රසාද ලබමින් සිටිතැයි" පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය.  "2015 පෙර රාජපක්ෂ ආණ්ඩු සමයේ කාර්ය භාරයක් නැතිව පත් කළ ජ්‍යෙෂ්ඨ ඇමැති තනතුරටම අද රාජ්‍ය අමාත්‍යවරුන් පත්ව ඇති බව ද" මන්ත්‍රීවරයා
සඳහන් කළේය. සිරිකොත එක්සන් ඡාතික පක්ෂ මූලස්ථානයේ ඊයේ (12) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා මෙසේද කීවේය.

නව රජය බලයට පත්වෙලා කැබිනට් මණ්ඩලය පත්කර අමාත්‍යංශ යටන් එන ආයනන ගැසට් කර තිබෙනවා. ඒ ආයතන දිහා බලපුවහම ආරක්ෂක අමාත්‍යශය යටතට ආයතන තිස් ගණනක් පත්කරලා. අපේ යහපාලන රජය යටතේ සිවිල් ආයතන, දෙපාර්තමේන්තු ලෙස පවත්වාගෙන ආ ආයතන පවා ආරක්ෂක අමාත්‍යශය යටතට පත් කර ගෙන සිටිනවා.  ඒ අනුව
වෙනත් අමාත්‍යාංශ යටතේ තිබූ ආගමන විගමන දෙපාර්තමේන්තුව, ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය, රාජ්‍ය නොවන සංවිධානවල මහ ලේකම් ආයතනය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය ආදී ආයතන ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගෙනල්ලා. ආයතන තිස් ගණනක් ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගෙනාවත් අද වනතෙක් ආරක්ෂක අමාත්‍යවරයකු නැහැ. කවුද රටේ ආරක්ෂක ඇමැති කියලා රජය වහාම රටට හෙළි කළ යුතුයි.  19 වැනි සංශෝධනය අනුව ජනාධිපතිවරයාට අමාත්‍ය ධුර දරන්න බැහැ.

ජනාධිපති රටේ සේනාධිනායකයා විදියට ඉන්නවා. එතකොට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයකු ඉන්නවා. නමුන් මේ ආයතන එකක්වත් එයාලගේ යටතට ගැසට් කරලත් නැහැ. එය නමට රාජ්‍ය ආරක්ෂක ඇමති පමණයි. ආරක්ෂක අමාත්‍යාංශය යටකට රටේ වටිනාම ආයතන ගැසට් කර තිබුණද ඒවායේ වගකීම බාරගන්නේ කවුද කියලා තවම ප්‍රහේලිකාවක්. ජනාධිපති ආරක්ෂක ඇමැතිද? එහෙම නැත්නම් වෙන කවුරු හරි ආරක්ෂක අමාත්‍යවරයකු පත් කරලා ද ආරක්ෂා සම්බන්ධයෙන් වගකිව යුත්තා කවුද කියන එක වහාම පැහැදිලි කළ යුතුයි.

 දැන් කැබිනට් ඇමැතිවරුන් 16ක් ඉන්නවා. අමාත්‍යාංශ 20ක් තිබෙනවා. සමහර කැබිනට් අමාත්‍යවරුන්ට අමාත්‍යාංශ දෙක බැගින් ගිහිල්ලා. දැන් අගමැතිතුමාට අමාත්‍යාංශ තුනක් අයිතියි. එතුමාගේ අයියට අමාත්‍යංශ දෙකක් තිබෙනවා. ඒ වගේ සමහර අයට අමාත්‍යාංශ දෙකයි. සමහර අයට එක අමාත්‍යාංශය බැගින් බෙදා දිලා. කැබිනට් අමාත්‍යවරුන් අඩුවුණා කියලා අමාත්‍යාංශ අඩුවෙලා නැහැ. එක අමාත්‍යවරයකු අමාත්‍යාංශ තුනක් භාරගෙන සිටිනවා නම් එයාට ඒ අමාත්‍යාංශ තුනෙන් ලැබෙන වරප්‍රසාදත් ලැබෙනවා. වරදාන වරප්‍රසාදවල අඩුවීමක් නැහැ. වෙනස තිබෙන්නේ වැඩි පිරිසක් අතරේ බෙදී යන වරප්‍රසාද සුළු පිරිසක් ඒ අයුරින්ම ලබා ගැනීමයි. මේ අය මුලින්ම රටට කිව්වා අප කැබිනට් එක අඩු කළා කියලා. කැබිනට් එකේ ඔළු ගාන අඩු වුණාට යන වියදමක් ගන්න වරප්‍රසාදවලන් අඩුවීමක් නැහැ. දැන් මේ අය රාජ්‍ය අමාත්‍යවරුන් 38ක් පත් කළා. කැබිනට් එකට යන එක හැර අනෙකුත් සියලුම වරප්‍රසාද කැබිනට් අමාත්‍යවරයාට හා සමානවම රාජ්‍ය අමාත්‍යවරයාට ලැබෙනවා.

වැටුප, කාර්ය මණ්ඩලය, වාහන මේ දෙන්නගේම එක හා සමානයි. ඔවුන්ට අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කරලා. මෙතැනිනුත් මේ අය ජනතාව මුලාකර තිබෙන ආකාරය පේනවා. රාජ්‍ය ඇමැතිවරුන්ට අමාත්‍යාංශ පැවරුවට ලේකම්වරුන් පත් කළාට ඒ අයට අයිති විෂයන් පිළිබඳව තවම ගැසට් නිවේදනයක් නිකුත් කර නැහැ.  ඒ නිසා රාජ්‍ය ඇමැතිවරුන්ට කරන්න කිසිම දේකුත් නැහැ. මේ නිසා තමයි ජනාධිපතිතුමා එදා පත්වීම් දෙද්දි කිව්වේ මේ අයට කතාකර වැඩක් දෙන්න කියලා. මට කාර්ය භාරයක් නැති වුණාට රාජ්‍ය අමාත්‍යවරුන් නිකං පිනට පඩි අරගෙන කැබිනට් අමාත්‍යවරුන්ගේම වරප්‍රසාද භුක්ති විඳින කොටසක් බවට පත්වෙලා. මේ තත්වය ඉදිරි කාලයේදී තවත් මනාව දැකගන්න පුළුවනි. රාජ්‍ය අමාත්‍යවරුන් අමාත්‍යාංශවල ස්වාධීනව පත්කර තිබෙන නිසා ඔවුන් කැඳවන කැබිනට්
අමාත්‍යවරයාට වගකීමක් නැහැ. නියෝජ්‍ය අමාත්‍යවරුන් පිළිබඳව කැබිනට් අමාත්‍යවරයාට මීට වැඩි වගකීමක් තිබුණා. ජ්‍යෙෂ්ඨ ඇමැති කියලා කාර්ය භාරයක් නැති අමැතිවරුන් ඉස්සර හිටියා. ඒ තත්වයට අද රාජ්‍ය අමාත්‍යවරුන් පත්වෙලා.

රාජ්‍ය අමාත්‍යවරුන්ට තිබෙන්නේ අමාත්‍යාංශයට ගිහින් ලේකම් සමග සාකච්ඡා කර නැවත එන්නයි. දැන් විෂයන් ගැසට් කිරීමේදී රාජපක්ෂවරුන්ට රටේ ප්‍රධාන ආයතන එකසිය පනස් ගානක් ගැසට් කරලා. අපි පවුල් වාදය ගැන කියපු ඒවා දැන් එකින් එක තහවුරු වෙමින් තිබෙනවා. අපේ රජය සමයේදී පොහොට්ටුවේ පිරිස් එම්.සී.සී. ගිවිසුම ගැන ලොකු බිල්ලකු මැව්වා. ඒ බිල්ලා මවා රට දෙකට බෙදනවා. රට ඇමරිකාවේ කොලනියක් වෙනවා කියා පසුගිය මැතිවරණයේදිත් වාසි ලබා ගත්තා. එහෙම කියා දැන් මේ අය බලයට පත්වුණහම ආණ්ඩුවේ වගකිවයුතු පිරිස් කවුරුත් එම්.සී.සී. ගිවිසුම ගැන හරි ප්‍රකාශයක් කරන්නේ නැහැ. සියලු දෙනාම මුනිවත රකිනවා. ආණ්ඩුව පත්කර ගන්න දිනපතා මාධ්‍ය හමු පවත්වපු උදය ගම්මන්පිල මහත්තයලා දැන් ඉතාම අසරණ භාවයකින් කතා කරනවා. දැන් සීයට 70ක් හොඳයිලු. ඇමරීකාව ගේන හැම දේම විරුද්ධ වෙන මොළේ අමාරුවක් නැහැලු. නමුත් අප විදේශ ගිවිසුම් ගැන කතා කරද්දී මේ අයට ලොකු මොළේ අමාරුවක් තිබුණා. දැන් ඒ මොළේ අමාරුව සීයට 70ක් බවට පත්වෙලා.

මේ ගිවිසුම් රටට අහිතකරයි කියා ජනතාවගේ හැඟීම් අවුස්සා බිල්ලො මවා මේ අය බලයට පත්වුණා. බලයට පත්වෙලා මුනිවත රකිනවා..  එම්.සී.සී. ගිවිසුම ගැන රජය වහාම තමන්ගේ නිල ස්ථාවරය රටට හෙළි කළ යුතුයි. එම්.සී.සී. ගිවිසුම අත්සන් කරනවද නැද්ද කියන ස්ථාවරය ජනාධිපති හෝ අගමැති හෝ වහාම රටට හෙළි කළ යුතුයි. එහෙම නැතුව ආණ්ඩුවේ ඉන්න පොඩි පොඩි ගෝල බාලයෝ දාලා මේවට උත්තර දී පලක් නැහැ. අපේ රජය යටතේ ස්වාධීන ආයතන ගණනාවක් පත් කළා. 19 වැනි සංශෝධනය මගින් රාජ්‍ය සේවය, අධිකරණය ස්වාධීන ආයතන බවට පත්කළා. ස්වාධින මැතිවරණ කොමිසම මඟින් අපිට ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට හැකිවුණා. ස්වාධීන පොලිස් කොමිසමක් පත් කළා.

මේ අනුව දේශපාලනඥයන්ට ඕනැ විදියට පොලිසියේ මාරුවිම, ඇඟිලි ගැසීම් කරන්න බැරි වුණා. ස්වාධීන කොමිෂන් මඟින් ඒ ආකාරයට අප ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළා. පොලිස් කොමිසම් ක්‍රියාකාරිත්වය පිළිබඳව දැන් අපට සැක මතුවෙලා තිබෙනවා. පසුගිය කාලයේ ස්ථානාධිපතිවරයෙකු මාරු කරගන්න බැරිවුණා. නමුත් දැන් මේ රජය පත්වුණාට පසු පොලිසියේ ඉහළ නිලධාරින් පවා හිතුමනාපෙට මාරු කරනවා. ශානි අබේසේකර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිතුමා දැන් ගාල්ල නියෝජ්‍ය පොලිස්පතින්ගේ සහායක ලෙස පත් කරලා. එතුමන් එක්ක අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ දක්ෂ නිලධාරින් විශාල පිරිසකට ස්ථාන මාරුවීම් දීලා. පොලිස් කොමිසම දෙන නිර්දේශ තුළින් පොලිස් කොමිසම අද දේශපාලන බල අධිකාරියේ ග්‍රහණයට යටත් වෙලාද කියන ප්‍රශ්නය අප හමුවෙි තිබෙනවා” යැයිද ඔහු පැවසිය.

-නිමල කොඩිතුවක්කු-