ඉකුත් රජයේ මැදිහත්වීමෙන් විදෙස් රටවලින් ශ්‍රී ලංකාවට එළු මස් ආනයනය කර බෙදාහැරීමට අවස්ථාව ලබාදීමෙන් රජරට සත්ත්ව පාලන ගොවීන් අන්ත
අසරණභාවයට පත්වූ බවත් එම තත්වය නව රජය යටතේ එළඹෙන වසරටත් ක්‍රියාත්මකවීමේ අවදානමක් ඇතිවී තිබෙන බව මස් පිණිසෙ සතුන් ඇතිකරන ගොවීහු පැවසුහ.

ඉකුත් ආණ්ඩුව සමයේ මහා පරිමාණයෙන් පිටරටින් ලංකාවට මස් ආනයනය කිරීමෙන් දේශීය වශයෙන් මස් සැපයීමේ ව්‍යාපාරයේ නිරතවූ මහා පරිමාණ ව්‍යාපාරිකයන් මස් පිණිස සතුන් මිලදී ගැනීම මාස කිහිපයක සිට නතර කිරීම නිසා තමන් අන්ත අසරණභාවයකට පත්ව සිටින බව එහි නිරත පිරිස් පවසති.

වර්තමාන රජයත් පිටරටින් එළු මස් ආනයනය කිරීමට මහා පරිමාණ සමාගම් දෙකකට අවසර ලබාසෙමින් ගිවිසුම් අත්සන් කිරීමට ඉදිරියේදී නියමිත බවට රාවයක් ඇතිවී තිබෙන බවත් ඔවුහු පැවසූහ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අසරණ තත්ත්වයට පත් සත්ත්ව පාලන ගොවීහු පිරිසක් මෙසේ පැවසූහ.
" මාස හයකට ආසන්න කාලයක් තිස්සේ මස් සඳහා සතුන් මිලදී ගන්නා ව්‍යාපාරිකයන් අපේ සතුන් මිලදී ගන්න එන්නේ නෑ. ඔවුන් කියන්නේ පෞද්ගලික සමාගම් දෙකක් මස් පිටරටින් ආනයනය කරලා යුද හමුදා කඳවුරුවලට බෙදාහරිනවා කියලයි. ඒ නිසා සතුන් මිලදී ගත්තට මස් සපයන හැකියාවක් නෑ කියනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු පළාත් ආවරණය වන පරිදි වසර ගණනාවක් සත්ත්ව පාලනයේ යෙදුණු ගොවියන් පන්සියයකට අධික පිරිසක් ඉන්නවා.

අපි සපයන්නේ හොඳ තත්ත්වයේ ගුණාත්මක මස්. නමුත් පිටරටින් මාස ගානක් තිස්සේ ශීතාගාරවල ගබඩාකරලා නැව් වලින් එන ජරාව යුද හමුදාවට සපයන්න පියවර අරගෙන ඉවරයි.

පවතින රජය බදු අඩුකිරීමත් සමග ඔවුන්ට තවතවත් අඩු මිලට මස් සපයන්න හැකියි. නමුත් දේශීය සත්ත්ව පාලන ගොවියා සම්පූර්ණයෙන් අනාථ වී විනාශයි.

මේ රැකියාච කරලා තමයි දරු පවුල් රැකගත්තේ. දැන් සතුන් අලවිකර ගන්න විදියක් නැති නිසා කුඩුවල සතුන් පිරීලා. එකා එකා මැරිලා යනවා. බෙහෙත් දීලා කෑම සපයලා විශාල වියදමක් කරලයි සතුන් ඇති කරන්නේ.

පහුගිය රජය ගෙනගිය වැඩපිළිවෙළ තවදුරටත් ක්‍රියාත්මක කරන්න එපා කියලා ජනාධිපතිතුමාගෙන්, අගමැතිතුමාගෙන් හා වෙළෙඳ, විදේශ කටයුතු අමාත්‍යවරුන්ගෙන් අපි ඉල්ලා සිටිනවා.

ගිවිසුම් ගහලා 2020 වසරට මස් ගෙන්වන්න කටයුතු කළොත් ආපහු කවදාවත් සත්ත්ව පාලන ගොවියට මේ රැකියාව කරන්න වෙන්නේ නැහ.

හැම දෙයක්ම පිටරටින් ගෙන්වන සංකල්පය වර්තමාන ජනාධිපතිවරයා යටතේ අවසන් වෙයි කියලා හිතුවට මහා පරිමාණ වෙළෙඳුන් හැම් උපක්‍රමයක් පාවිච්චි කරලා ඔවුන්ගේ වෙළදාම කර ගන්නවා.

වෙනත් භාණ්ඩ ගෙන්වීම සීමා කරනවා වගේම එළු මස් ආනයනය කිරීම නවත්වන්න.අපිට මස් සපයන්න පුලුවන්.ඒවා පිරිසුඳු මාස ගණන් ශිතාගාරවල කුණුවෙන මසු නෙවෙයි"යැයිචද පවසා සිටියා.

තිසර සමල් එප්පාවල