බස් රථවලට දවල් කාලයේ අය කරනු ලබන ගාස්තුවට වඩා යම් ප්‍රමාණයක වැඩි ගාස්තුවක් අය කිරිමට අවසර දී හෝ රාත්‍රී බස් සේවය ආරම්භ කරන බව ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය  දිලුම් අමුණුගම මහතා කීය. මහනුවර පිහිටි මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන
අධිකාරි කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා එසේ කීය.  මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන ප්‍රවාහන විදුලබල බලශක්ති නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය යටතේ පාලනය වන මහනුවර බෝගම්බර බහුමාදිලි මර්ග ප්‍රවාහන පර්යන්තය නිරික්ෂණය කිරිමෙන් අනතුරුව මෙම මාධ්‍ය හමුව පැවැත්විණ. මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ මූලිකත්වයෙන් මෙම නිරීක්ෂණය සිදු විය. ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත දිලුම් අමුණුගම මහතා මෙසේද කීය.

රාත්‍රි කාලයේ ධාවනය වූ බස් සේවාව දැනට
ධාවනය නොවීම හේතුවෙන් ජනතාවට දැඩි දුෂ්කරතාවට මුහුණ දී සිටින බව ඔවුන් නිතර අප සමඟ ප්‍රකාශ කරනවා. රාජකාරිවලට විවිධ සහ සේවාවන්ට ගොස් රාත්‍රී කාලයේ නිවෙස්වලට යන බොහෝ දෙනෙකුට රුපියල් සිය ගණනක් දි ත්‍රිරෝද රථයකින් තමන්ගේ නිවසට යාමට සිදුව තිබෙනවා. මෙය ඔවුන්ට දරාගත නොහැකි විශාල වියදමක්. ඒ නිසා බස් රථවලට සාමාන්‍යයෙන් දවල් කාලයේ අය කරනු ලබන ගාස්තුවට වඩා වැඩි ගාස්තුවක් අයකර ගැනීමේ පදනම මත හෝ රාත්‍රී කාලයේ බස් සේවාව ඉතා ඉක්මනින් ආරම්භ කිරීමට පියවර ගන්නවා. ඉතිහාසයේ පළමු වරට ආණ්ඩු වෙනසක් වීමෙන් පසුව ලංගමය තුළ දේශපාලන පලිගැනීමක් සිදු නොවුයේ මෙවරයි.

දේශපාලන පලිගැනීම් කිසිවක් මේවර සිදු වුණේ නෑ. මෙයට පෙර ලංගමයේ සම්ප්‍රදාය තිබුණෙ ආණ්ඩුව ආවහම අනෙක් අයට ගහල එළවන එක. ඉතිහාසයේ පළමු වරට තමයි ඒක සිද්ධ නොවුණේ. ඒක සිද්ධ
නොවුණ එකෙන් ගැටලුවකුත් මතුව තියෙනවා. හුගක් ඩිපෝවල ආදායම ලක්ෂ පහක් විතර අඩු වෙලා තියෙනවා. මම ඩිපෝවල නිලධාරින්ගෙන් ඉල්ලීමක් කළා දේශපාලනය වෙනම දෙයක් ඩිපෝ වැටෙන්න ඉඩ දෙන්න එපා කියලා. ඒ අනුව වැටෙන්න‍ නොදී රැක ගන්න අයත් ඉන්නවා. එහෙම අය අපි ඉවත් කරන්නේ නෑ. නමුත් අදායම දිගටම පහළ වැටනවානම් ඒ ගැන යම් තීරණයක් ගන්න වෙයි. ඒක කොහෙන්ම දේශපාලන පලිගැනීමක් නෙවෙයි. ආදායම පමණයි අපි බලන්නේ යැයිද අමාත්‍යවරයා මෙහිදි කීය. මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා මෙසේ කීය.‍

පසුගිය දිනෙක මම මාතලේ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සිය අවස්ථාවේදී ප්‍රශ්නයක් මතු වුණා. මාතලේ ඉන්න ජනනාවට උදේ බස් එකේ නැගල මහනුවරට ඇවිත් තමයි දුම්රියට නගින්න වෙලා තියෙන්නේ. ඒ නිසා මාතලේ ඉඳලා කොළඹ දක්වා දුම්රියක් ලබා දෙන්න කියලා. මේ ගැන මම සී. බී. රත්නායක ඇමතිතුමන් එක්ක කතා කළා. එතුමා කිව්වා ලබන ජනවාරි මාසයේ 15 වනදා ඉඳලා මාතලේ ඉදලා කොළඹට දුම්රියක් ලබා දෙනවා කියලා. ඒ අනුව ලබන ජනවාරි 15 වනදා ඉඳලා මාතලේ ඉදලා නුවර දක්වා මාර්ග නදබදය යම් ප්‍රමාණයකින් අඩු වෙනවා වගේ ජනතාවට පහසුවක් ඇති වේවි. පළාත් මාර්ග සංවර්ධන ප්‍රවාහන විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ඩබ්ලිව්.එම්. වික්‍රමරත්න මහතා ඇතුළු නිලධාරිහුද මෙම අවස්ථාවට එක් වූහ.

-මොහොමඩ් ආසික්-