අ.පො.ස. සාමාන්‍ය පෙළ අවසන්  දින විභාගයට පෙනී සිටීම සඳහා බස් රථයකින් ගමන් කරමින් සිටි සිසුවකු බස් රථයෙන් ඇද වැටී තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලිසිය කියයි. විභාගය සඳහා දඹුල්ල වෑවල වැව මාර්ගයේ ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථයකට කණ්ඩලම ප්‍රදේශයෙන් ගොඩවූ මෙම සිසුවා කණ්ඩලම පාර සිසිරවක්ත ප්‍රදේශයේදී බිමට ඇද වැටී ඇතැයි පොලිසිය කියයි. අනතුර සම්බන්ධයෙන් බස්
රථයේ රියැදුරු හා කොන්දොස්තරවරයා සැකපිට අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලීසියේ වැඩ බලන මූලස්ථාන පොලිස් පරික්ෂක බි.ආර්.එස්.කේ. මෙන්ඩිස් මහතා සඳහන් කළේය. මෙසේ තුවාල ලබා ඇත්තේ කණ්ඩලම ප්‍රදේශයේ පදිංචි සුපුන් මදුශංක නමැති සිසුවෙකි.  මෙම දරුවා බස් රථයේ පාපුවරුවේ
ගමන් කොට තිබෙන බවත් තුවාල ලැබූ සිසුවා එම බස් රථයෙන්ම දඹුල්ල මුලික රෝහලට රැගෙනවිත් තුවාලවලට බෙහෙත් දමා දඹුල්ල ජාතික පාසලේ විභාග මධ්‍යස්ථානයට පිටත් කර යැවූ බවත් රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

පසුව විභාගය අවසන් වූ පසු නැවතත් රෝහලට ගෙනවිත් ඔහුට ප්‍රතිකාර කටයුතු ආරම්භ කළ බව රෝහල් ප්‍රකාශකයෙක් වැඩිදුරටත් සඳහන් කළේය. මෙම සිසුවාගේ අත්පාවලට සහ මුණට දැඩි හානි සිදුවී තිබෙන බව ද රෝහල් ප්‍රකාශකයා සඳහන් කළේය. තුවාල ලැබූ සිසුවා කියාසිටියේ පාපුවරුවේ ගමන් කරමින් සිටියදී එකවරම තමන්ට ක්ලාන්තයක් ඇතිවීමත් සමග බස් රථයෙන් ඇද වැටුණු බව ය. කෙසේ වෙතත් දරුවන් පාපුවරුවේ රැගෙන යෑම බරපතළ වරදක් බවත් බස් රථ රියැදුරු සහ කොන්දොස්තරවරයා එහි වගකීම බාරගත යුතු බව පොලිසිය සඳහන් කළේය. අපරික්ෂාකාරි ලෙස මගී ප්‍රවාහනය කිරීම නිසා සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් දිනයේ පෙනී සිටීමට සිටි සිසුවට විශාල අසාධාරණයක් සිදු වූයේ යැයි පොලිසිය සඳහන් කළේය. සැකකරුවන් දෙදෙනා දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පොලිසිය සඳහන් කළේය.