රැඳවියන් 12000 කට ප්‍රමාණවත් වන දිවයිනේ බන්ධනාගාර තුළ මේ  වන විට සිරකරුවන් හා සැකකරුවන් 25300ක් පමණ රඳවා සිටින අතර මේ අයගෙන් 16000ක් සැකකරුවන් බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ටී.එම්.ජේ.ඩබලිව්. තෙන්නකෝන් මහතා බදුල්ල තල්දෙන බන්ධනාගාරයේ දී පැවැති මාධ්‍ය හමුවක
දී පෙරේදා (15) පැවසීය. රඳවා තබන බන්ධනාගාර ආයතන 30ක් දැනට පවතින අතර රැඳවියන්ගෙන් සියයට 50 ක් පමණ මත්ද්‍රව්‍ය වැරැදි හෝ මත්ද්‍රව්‍ය ආශ්‍රිත කරනා සම්බන්ධයෙන් රදවා ඇති බවද අනාවරණය කළේය. බන්ධනාගාර තුළ සිටම මත්ද්‍රව්‍ය ජාවාරම් ක්‍රියාත්මක විම නතර කර ඇත්දැයි විමසු විට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා පැවසුවේ එය මැඩිම සඳහා විවිධ ක්‍රම  උපයෝගී කරගෙන ඇති බවයි. බන්ධනාගාර කොමසාරිස්වරයා මෙසේ ද කීවේය.

මත්ද්‍රව්‍ය වැරැදි සබ්බන්ධයෙන් රඳවා සිටින අය අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන්, භාවිතා කරන්නන් හා මත්ද්‍රව්‍ය ආශ්‍රිත ව්‍යාපාරිකයන් ද සිටිනවා. ව්‍යාපාරිකයීන් මධ්‍ය හා මහාපරිමාණ වශයෙන් ද සිටිනවා. බන්ධනාගර තුළ සිට කරන ජාවාරම් පිළිබඳ ප්‍රශ්නය කලයක් තිස්සේ සංවාදයට බඳුන් වී තිබනවා. ඒ අනුව විවිධ උපක්‍රම ක්‍රියාවේ යෙදවටා තිබෙනවා. බන්ධනාගාර පරිශ්‍රයට ඉහළින් දුරකතන පද්ධතිය අවහිර කිරිමේ උපකරණ යෙදවූ විට විවිධ බාධක ගැටලු මතුවුණා. බන්ධනාගාරයේ මෙන්ම අවට රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලටත් පාසල්වලටත් එම දුරකතනවලට බාධා ඇති වුණා. අනෙක් කාරණය තමයි එම තාක්ෂණයට වඩා ඉහළ තාක්ෂණයක් අද ජංගම දුරකතන සදහා ලැබි තිබෙනවා. මේ හේතු නිසා පසුගිය කාලයේ සාකච්ඡා කළ කාරණයක් අනුව මෙම විශේෂිත පුද්ගලයන් විශේෂ බන්ධනාගාරයෙක් තුළ රැඳවීමට පියවර ගැනීම. ඒ අනුව බුස්සේ බන්ධනාගාරය සඳහා ගොඩනැගිල්ල ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් අල්ලාගෙන සස්ථාපිත කළා.

 ඒහි ප්‍රධාන මැදිරි 46ක් ඉදිකර තිබෙනවා. ඊට අමතර  තවත් ඉදිකරමින් තිබෙනවා. දැනට මෙම කටයුතු මැඩලීම සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යාලය හා පොලිස් දෙපාර්තමේන්තුවේ සහාය ලැබි තිබෙනවා ඉදිරියට තවත අයතන කීපයක සහාය අවශ්‍ය වෙලා තියෙනවා යැයි ද පැවසීය. මරණ දඬුවම ලැබු 470 දෙනෙක් බන්ධනාගර තුළ සිටින බවත් අභියාචනා කළ 700ක් පමණ සිටින බවත් අනාවරණය කළේය .
බන්ධනාගාර තුළ සිදුවන දෑ නිරික්ෂණය කිරිම සඳහා ආරක්ෂිත කැමරා පද්ධති සවිකිරීම් කෙරහි අවධානය යොමුවි ඇති බවත් ඊට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව පාර්ල්මේන්තුවේ දි සම්මත වී ඇති බවත් සඳහන් කළ  තෙන්නකෝන් මහතා මේ සඳහා ප්‍රතිපාදන ලැබෙ‍න තෙක් බලා සිටින බව පැවසීය. මේ පිළිබඳව වත්මන් අධිකරණ හා පුනරුත්ථාපන ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ද අවධානය යොමුවී ඇතැයි සඳහන් කළේය. ලබන වසර මුල දී මේ අනුව කොළඹ ප්‍රධාන බන්ධනාගර 3ට සහ ප්‍රධාන කාර්යාලයට ආරක්ෂක කැමර සවිකිරිමට හැකි වෙතැයි හෙතෙම විශ්වාසය පළ කළේය.

-පාලිත ආරියවංශ-