පාකිස්තානයේදී ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වූ ශ්‍රී ලාංකිකයන්ට පාකිස්තානයට පැමිණීමට හැකියාවක් ලැබුණා නම් සෙසු රටවලටද පාකිස්තානයට පැමිණීමට ගැටලුවක් අති නොවන බව
පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති හා අයි.සී.සී. ක්‍රිකට් හිටපු සභාපති ඒෂාන් මාහි මහතා පැවසීය. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තානයේ තරග සංචාරය, මිත්‍රත්වයේ සංක්නයක් බවත් ශ්‍රී ලංකා මාධ්‍යවේදින්ට අදහස් දක්වමින් මානි මහතා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ නැවත සංචාරය කිරීම ගැන ඔබේ අදහස කුමක්ද?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම පැමිණීම මම ගොඩක් අගය කරනවා. ශ්‍රී ලාංකිකයන් සමගින් අපිට ඉතා කුළුපග හිතවත්කමක් තිබෙනවා. ශ්‍රී ලාංකිකයන් ටෙස්ට් ක්‍රීඩාවට අත්පොත් තැබීමේදී ඒ සඳහා ලොකු සහයෝගයක් ලබා දුන්න රටක් තමයි පාකිස්තානය කියන්නේ. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ලබා ගැනීමෙන් වසර 10ක් ගත වෙනකොටත් ශ්‍රී ලංකාව සමගින් අනෙක් සෑම රටකටම වඩා තරග සංඛ්‍යාවකට පාකිස්තානය සහභාගි වුණා, අපි හැම වෙලාවෙම ශ්‍රී ලංකාවට සහයෝගය දෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවත් අපිට සහයෝගය ලබා දීම අපි ඉහළින්ම අගය කරනවා. මේක තමයි සැබෑ මිත්‍රත්වයේ සංකේතය. මේ පණිවුඩය ඉතා බලවත්.
අවාසනාවකට 2009 වර්ෂයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට අපේ රටේදී ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වුණා. නමුත් ඔවුන්ට යළිත් අපේ රටට එන්න පුළුවන් වුණා නම් අනෙක් කිසිම කෙනකුට බය වෙන්න දෙයක් නෑ. ඒ වගේම මම ඉතාම සතුටු වෙනවා ශ්‍රී ලංකාවේ මාධ්‍ය මෙම තරගාවලිය ආවරණය කිරීමට පැමිණීම සම්බන්ධයෙන්. ඒක ලොකු ධනාත්මක තත්වයක්.

ආසියානු ශුරතාව වගේ ඉදිරි තරගාවලි පාකිස්තානයේ පැවැත්වීමට ඇති සැලසුම් මොනවාද?

සෑම විටම පාකිස්තානයේ ක්‍රිකට් සඳහා මූලිකත්වයක් ලබා දෙනවා. ජනවාරි මාසයේදී බංග්ලාදේශය සමගින් තරගාවලියකුත් පැවැත්වීමට අපි අදහස් කරගෙන ඉන්නවා. ඒ සම්බන්ධයෙන් හොඳ වාර්තාවක් අපිට ලැබිලා තිබෙනවා. ඉදිරියේදී ආසියානු ශුරතා තරගාවලියක් වගේම දකුණු අප්‍රිකාවත් පාකිස්තානයේ සංචාරයකට එක්වීමට කතා කරල තිබෙනවා. කුමාර් සංගක්කාරගේ සභාපතිත්වය දරන එමි.සී.සී. ක්‍රිකට් කණ්ඩායමකුත් පාකිස්තානයට එන්න නියමිතයි. ඒ නිසා දැන් දැන් මිනිසුන්ට පාකිස්තානයට එන්න හැකියාවක් ඇතිවෙලා තිබෙනවා.

මේ තරගාවලියට පාකිස්තානයේ අගමැති ඉම්රාන් ඛාන්ගෙන් ලැබුණු සහයෝගය කොහොමද?

ඔහු හැමවෙලේම කැමැතියි පාකිස්තානය ක්‍රීඩා කරන තරඟ පාකිස්තානයේම පවත්වනවාට. අපි දැන් ඒ පණිවුඩය මෙම තරගාවලියන් ගෙනිච්චා, ඒ වගේම මෙම තරගාවලිය පවනවාට අපේ රජයෙන් ලබා දුන්න සහයෝගය තරගාවලියට ලැබුණු ආරක්ෂාවෙන්ම අපිට පෙනෙනවා.

ශ්‍රී ලාංකිකයන් මේ තරගාවලිය එක්දින හා පන්දුවාර 20 තරගාවලිය ඇතුළුව මගහැරියා
නම් පාකිස්තාන ජනතාවට එය කොහොම දැනෙයිද?

මම හිතන්නේ නෑ ඒක මගහරීයි කියලා. මොකද පාකිස්තානය වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත් මේ තරගාවලිය පවත්වන්න උවමනාවක් තිබුණා. එහිදී අපි වැඩි අවධානයක් යොමු කළේ ආරක්ෂාව ගැන. ඒක කොච්චර හොදට තිබිබඳ කියනව නම් පන්දුවාර 20 තරගාවලිය අවසානයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අපිට කිව්වේ ආරක්ෂාව ඉහළින්ම ලැබුණා කියලයි.

ඉදිරියේදී ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීගයක් තිබ්බොත් ඔබගේ ක්‍රීඩකයන් ඒ සඳහා සහභාගී කරවනවද?

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීගයක් තිබිබොත් අනිවාර්යයෙන්ම අපි අපේ ක්‍රීඩකයන් ඒ සඳහා එවනවා, මට ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ට කියන්න තියෙන්නේ ඔවුන් අපිට විශාල සහයෝගයක් ලබා දුන්නා කියලයි.


සටහන හා ඡායාරූප - ඕෂිත වරකපිටිය