විශේෂඥ වෛද්‍යවරයකු සතු බත්තරමුල්ලේ පිහිටි සුබෝපභෝගී නිවසක කුලී පදනම යටතේ නැවතී සිටිමින්  ගිවිසුම් ප්‍රකාරව නියමිත කාලය ඉකුත් වීමෙන් පසුවත් නිවසින් ඉවත් නොවී තමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලේකම්වරයකු බව පවසමින්
බලහත්කාරයෙන් මෙම නීවයේ රැදී සිටීමේ චෝදනාව යටත් රිමාන්ඩ් කර සිටි අයකු රුපියල් ලක්ෂ පහ බැගින් වන ශරීර ඇප කාසි දෙකක් යටතේ මුදා හැරිමට කඩුවෙල මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ප්‍රසන්න අල්විස් මහතා ඉකුන්ද (20) නියෝග කළේය.

විජේන්ද්‍ර ලංකා කිවුලේගෙදර නමැත්තකුට
එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මෙම පැමිණිල්ල ගොනුකර තිබිණ. පැමිණිලිකරු බත්තරමුල්ලේ පදිංචි විශේෂඥ වෛද්‍යවරයකු වන විජිත රත්නායක යන අයයි. නඩුව යළි කැඳවූ අවස්ථාවේ වැඩිදුර විමර්ශන වාර්තා අධිකරණයට ඉදිරිපත් කළ පොලිසිය මෙම සැකකරු ඉහත කී  වෛද්‍යවරයාගේ නිවසේ කුලී පදනම යටතේ කාලයක් පදිංචි වී සිට ඇති බවත් පසුව ගිවිසුම් ප්‍රකාරව ඔහුට නිවසින් ඉවත් වීමට ලබා දී තිබූ සහන කාලය අවසන් වූ විට නිවෙසින් ඉවත් වීම ප්‍රතික්ෂේප කර තිබූ බව වාර්තා කර තිබිණ.

ඒ අවස්ථාවේ සැකකරු තමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලේකම්වරයකු බව පවසමින් බලහත්කාරයෙන් තවදුරටත් රැඳී සිටීමට උත්සාහ කර ඇතැයි ද අධිකරණයට පෙන්වා දී තිබිය. මේ සම්බන්ධව සැක සිතු පැමිණිලිකරු ජනාධිපති කාර්යාලය හරහා කර තිබූ විමසීමකදී සැකකරු විසින් කර ඇති ඉහත කී ප්‍රකාශය අසත්‍ය එකක් බවට හෙළි වී ඇතැයි ද වාර්තා වේ.

ඉහත කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරයා සැකකරු ඉහත කි , ඇප කොන්දේසි යටතේ මුදාහරිමින්ට යළි මොන අවස්ථාවක හෝ එසේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම විකුණා අසත්‍ය ප්‍රකාශ පළකළ හොත්  ඇප නියෝග අවලංගු කර තමා රක්ෂිත බන්ධනාගාර ගත කරන බව සැකකරට තදින් අවවාද කළේය. තවද සැකකරුට සෑම සතියකම සෙනසුරාදා දිනවල 9 - 12 කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට අධිකරණය වැඩිදුරටත් නියෝග කරන ලදී.සැකකරු වෙනුවෙන් නිතිඥ ශාලිකා තුඩුගලගේ මෙනවිය සමග නීතිඥ ඩී.ජී.පී. කරුණාරත්න මහතා පෙනි සිටියේය.