එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට අයත් යැයි කියන මිගහතැන්න වැල්ලීගොඩ ප්‍රදේශයේ නිවසක් සැක සහිත බවට පෙරේදා (21) පැමිණිල්ලක් ලැබුණු බව මිගහතැන්න පොලිසිය පවසයි. වළල්ලාවිට ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් වන සම්පත් කුමාර සහ යසස් සමින්ද යන
මන්ත්‍රීවරුන් මෙලෙස පොලිසියට පැමිණිලි කර ඇත. විශාල තාප්පයකින් වට කරන ලද  අක්කර 11ක පමණ භූමි ප්‍රමාණයක ඉදිකර ඇති මෙම නිවසේ ප්‍රධාන දොරටුව ඉබි යතුරු දමා නිරතුරුවම අඟුල ලා ඇති බවත් ඉකුත් දින කිහිපයක රාත්‍රී කාලයේදී සැකකටයුතු වාහනවලින් පැමිණි පිරිසක් පිළිබඳ ප්‍රදේශවාසීන් දුන් තොරතුරු අනුව මෙම ස්ථානය පරික්ෂා කරන ලෙස ඉල්ලා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනා පොලිසියට පැමිණිලි කර ඇති බවත් පොලිසිය කියයි.

ඒ අනුව එම ස්ථානය පරික්ෂා කිරිම සඳහා උසාවි නියෝගයක් ලබාගැනීමට කටයුතු කරන බව ද
පොලිසිය පවසයි. පොලිසියට පැමිණිලි ඉදිරිපත් කළ වළල්ලාවිට ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී සම්පත් කුමාර මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවැසුවේ එම නිවෙස තුළ කිසියම් සැකකටයුතු දෙයක් සිදුවෙතැයි ප්‍රදේශවාසීන් තුළ ඇති වී තිබෙන සැකය දුරු කිරිම සඳහා පොලිසියට මෙම පැමිණිල්ල
ඉදිරිපත් කළ බවයි.

පසුගිය රජය සමයේ මෙම ඉඩම සංවර්ධනය කිරීමේ දී සහ ගොඩනැගිලි ඉදිකිරිමේ දී එවකට රාජිත සේනාරත්න මහතා යටතේ පැවැති සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් වාහන යොදාගත් බවට ප්‍රදේශවාසීන් චෝදනා කරන බවත් ඒ සම්බන්ධව විඩියෝ දර්ශන ද ප්‍රදේශවාසීන් සතුව ඇති බවත් පැමිණිල කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා කීවේය.  උසාවි නියෝගයක් ගෙන මෙම ස්ථානය පරික්ෂාවට ලක්කරනතුරු පෙරේදා (21) සිට ආරක්‍ෂාව සදහා පොලිස් නිලධාරීන් දෙදෙනකු යොදවා ඇත.

-විශ්ව ගැමුණු ප්‍රියංකර-