එක්සත් ජාතික පක්ෂයේ නායක ධුරයේ දිගටම රැඳීසිටීමට තමන්ට උවමනා නැතැයි එම පක්‍ෂයේ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (16) පැවසීය.
පක්ෂයට අලුත් නායක පැලැන්තියක් උවමනා කර තිබෙන බවත්, ඒ සඳහා 2025 වසර වනතුරු සිටිය යුතු නොමැති බවත් ඒ මහතා සදහන් කළේය.

සියලු දෙනා එකතු වී පක්ෂය ඉදිරියට යන්නේ කෙස්ද කියා සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත්,පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධනය කරන ලෙස තමන් දැනුම්දුන් බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ගමට ගොස් පාක්ෂිකයන් හමුවිය නොහැකි සංවිධායකයන් වෙනුවට නව සංවිධායකයන් පත්කිරීමට සිදුවන බවත්, පක්‍ෂයේ සියලූ දෙනා ඒකමුතුව වැඩ නොකළහොත් මහ මැතිවරණයේදී ජයග්‍රාහී
ප්‍රතිඵලයක් ලබාගත නොහැකි බවත් හෙතෙම පවසා සිටියේය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පකෂ පළාත් පාලන නියෝජිතයන් පිරිසක් සමග සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා,
"හැම ඒ කෙනාම හිතන්නේ මොකද අපි පාර්ලිමේන්තු ජන්දෙට කරන්නේ කියලා. පාර්ලිමේත්තු ඡන්දෙට අපි හරියට බැහැලා වැඩ කරනවා නම්, හොඳ ප්‍රතිඵලයක් අරගන්න පුළුවන්. අපි විපක්‍ෂයේ ඉන්න අනිත් පක්‍ෂ එක්ක වැඩ කරනවා නම්, 110ට වඩා මන්ත්‍රීවරුන් පිරිසක් ලබාගන්න පුළුවන්. මේ ඡන්දය දිනන්න අමාරුයි කියලා සමහරු අද අඩපණ වෙලා තිබෙනවා. අපි පාරට බැහැලා වැඩකටයුතු කරන්න උවමනායි. ඒ සඳහා අපි ඔක්කොම එකමුතුව වැඩ කරන්න ඕන. එකමුතුව වැඩ කරන්නේ නැත්නම්, ඒ ප්‍රතිඵලය ලබාගන්න බැරි වෙනවා. තාමත් ගමට යන්න බැහැ කියන සංවිධායකවරු, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඉන්නවා නම්, ඒ අය ඉවත්වෙලා වෙන අයට අවස්ථා දෙන්න ඕන. අපි දැන් ගම්වලට ගිහින් තිබෙනවා, ගමට ගියාම විශේෂයෙන් පන්සලටයි පල්ලියටයි යන්න ඕන. ඒක අමතක කරන්න එපා.මේ වැඩසටහන අනුව අපි ඉදිරියට යමු .

අපි සමීක්‍ෂණ තුන හතරක් කරලා තිබුණා. ඒ හැම එංකේදීම ගෝඨාභය රාජපක්‍ෂ ඉදිරියෙන් සිටියා. ඒ සමීක්‍ෂණ දිහා බැලුවාම අපේ අඩුපාඩුකම් තිබුණේ කොතනද කියලා බලලා හදාගන්න ඕන. එංගලන්තයේ කොන්සර්වේටිව් පක්ෂයත් සමීක්ෂණය කළා ඒ අය සමීක්‍ෂණ ලැබුණු අවස්ථාවේම අඩුපාඩුකම් හදාගත්තා. පසුපසින් සිටි පක්ෂය වැඩි මන්ත්‍රීවරු 80කින් මේ සැරේ දිනුවා.

මේක අපට වැදගත් අපේ ඊළඟ ඡන්දවලදී අඩුපාඩුකම් හදාගන්න. සංඝරත්නය නැතිව,  මැදපත්තිය නැතිව, තරුණයෝ නැතිව අපට මෙතනට යන්න බැහැ, මෙතන තියන්නේ පක්ෂ අතර තරගයක්. එතන තිබුණෙ පුද්ගලයන් අතර තරගයක්.
ආපහු ඒ සහයෝගය ලබාගනිමින් අපේ ප්‍රශ්නවලට විසදුම් හොයන්න ඕන, මේකයි පක්ෂයට තියෙන අභියෝගය. තීරණ ගන්න වෙලාවේ අපි තනි තනිවම කණ්ඩායම් හැටියට තීරණ අරගෙන සාර්ථක වෙන්නේ නැ අපේ සංඝරත්නය ඒ තිරණ පිළිගන්නේ නැත්නම්, ඒ කාලය තුළ මම හැම විටම සංඝරත්නය  සහ පල්ලිය එක්ක සාකච්ඡා කරනවා. ඒ සහයෝගය නැතිව අපට යන්න බැහැ. කොහොමද මැද පන්තිය හිතන්නේ, කොහොමද තරුණයෝ හිතන්නේ, මොකද අලුතෙන් කරන්න උවමනා කියන කාරණා අනුව තමයි අපි වැඩ කළ යුත්තේ.

අපේ ආණ්ඩුව විශාල සේවයක් කරපු ආණ්ඩුවක්. අපි ඒවා ගැන කතා කළේ නැහැ. ඒකයි අපට තිබුණු ප්‍රශ්නය. පක්ෂයට දැන් අලුත් මුහුණුවරක් ඕන. අලුත් නායක පැලැන්තියක් ඕන. අපි හැමදාම මෙහේ ඉන්නේ නෑ. 2025 වනවිට පක්ෂය ශක්තිමත් කරන්න ඕන, ඒ සදහා 2025 වෙනකම්වත් ඉන්න උවමනා වෙන්නේ නෑ. අපි දැන් එතනට සංවිධානය වෙන්න ඕන. මම කියලා තිබෙනවා මේකේ හැමදාම ඉන්නේ නැහැ, ඉන්න උවමනාවකුත් නැහැ. මුළු පක්‍ෂය හැටියට සැලැස්මක් දෙන්න කොහාමද ඉදිරියට යනේ කියලා. පක්‍ෂයේ සියලු දෙනාම ඒකෙන් වාසියක් ලබාගන්න ඕන. එය කතා කරලා හිදින ඒ සැලැස්ම අනුව මම වැඩ කරනවා. ඒක එකමුතුව දෙන්න ඕන, කණ්ඩායම් හැටියට දෙන්න ඕන. මම දැන් කියලා තිබෙනවා පක්‍ෂයේ වයවස්ථාව සංශෝධනය කරන වැඩ සකස් කරන්න කියලා. මේවා ඔක්කොම වැදගත්. මේවා ඔක්කොම කරන්න දැන් අපත් බැහැලා වැඩ කරන්න ඕන" යනුවෙන් පවසා සිටියේය.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාද එක්ව සිටියේය.

අමිත් මධුරංග/ ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක ද සිල්වා