ලොව වාසය කළ වයස්ගතම ගැහැනු කළු රයිනෝසිරස් සත්ත්වයා ලෙස සැලෙකෙන ෆයුස්ටා නම් රයිනෝ සත්ත්වයා පසුගියදා ටැන්සානියාවේ වනෝද්‍යානයේදී
මියගිය බව එරට බලධාරීන් පවසයි. මිය යන විට ඇය 57 හැවිරිදි වියේ පසු වූවාය. මෙය ස්වාභාවිකව සිදු වූ මරණයක් බවට විශ්වාස කෙරේ.

ෆයුස්ටා පළමුවරට මෙම න්ගොරොන්ගොරෝ වනෝද්‍යානය වෙත පැමිණ  ඇත්තේ 1965 වසරේදීය. එරට ඩාර් එස් සාලාම් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෙකු ඇයව එහි ගෙනැවිත් ඇත. ඒ වනවිට ඇගේ වයස අවුරුදු තුනක් හෝ හතරක් වන්නට ඇතැයි සඳහන් වෙයි.

"2016 අවුරුද්දේ ඉදන් ෆයුස්ටාගේ සෞඛ්‍ය තත්වය පිරිහෙන්න ගත්තා. ඇයට හයිනාවන්ගෙන් එල්ල වුණු ප්‍රහාර නිසා යම් යම් තුවාල පවා ඇති ව තිබුණා. ඒ නිසා අපි මේ දුර්ලභ සත්වයාව කොටුකරලා බලාගන්න කටයුතු කළා."
ගොරොන්ගාරෝ සංරක්ෂණ ප්‍රදේශ අධිකාරී සංරක්ෂණ කොමසාරිස්වරයා පවසයි.

ඔහු පවසන ආකාරයට වනාන්තරයේදී නම් මෙවැනි කළු රයිනෝ සතුන් අවුරුදු 37ත් 43ක් අතර ආයු කාලයකට හිමිකම් කියන බවත්, සංරක්ෂිත ප්‍රදේශයකදී එය වයස අවුරුදු 50 ඉක්මවන තත්වයක් වන බව සඳහන් වෙයි. ඒ අනුව ෆයුස්ටා සිය ජිවීත කාලයෙන් අවුරුදු 54කට වඩා වැඩි කාලයක් වනාත්තරයේ ජීවත්ව ඇති බවත්, එය එතෙක් මෙතෙක් ලෝකයේ කිසිදු රයිනෝ සත්වයෙකු ජීවත් වූ කාලයට වඩා වැඩි කාලයක් බවත් පැවසෙයි.