ඉදිරියේදී ශ්‍රී ලංකාවට සහල් ආනයනය සම්පූර්ණයෙන් නතර කරන්නට රජය සූදානම් වේ. මෙවැනි පියවරක් සදහා එකවර යාමේදී රටේ සහල් හිගයක් මතුවිය හැකි හෙයින් වී මෝල් හිමියන් සතුව පවතින වී තොග
ගණනය කිරීම කෙරෙහි අභ්‍යන්තර වෙළඳ ආහාර සුරක්ෂිතතා හා පාරිභෝගික සුබසාධන අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙයි.
සහල් හිඟයක් ඇතිවීම සහ
වී මෝල් හිමියන් විසින් වී තොග සැඟවීම වැළැක්වීමට මෙමගින් හැකියාව ලැබේ.
මෙම ගණනය කිරීම ලබන වසරේ මුල සිට ආරම්භ කිරීමට ද පියවර ගෙන තිබෙන අතර සහල් මිල උච්ඡාවචනය වීම වළැක්වීමටද අපේක්ෂිතය.

වෙළඳපලේ මේ වනවිට නාඩු සහ සුදුකැකුළු යන සහල්වර්ගවල අඩුවක් දක්නට ලැබෙන අතර  අනෙකුත් සහල් වර්ග ගැටලුවකින් තොරව ලබාගත හැකි බව අමාත්‍යංශය සඳහන් කර තිබේ.

මහ කන්නයේ අස්වනු නෙළීම එළඹෙන ජනවාරි මාසයේ ආරම්භ කර ඇත. වී අලෙවි මණ්ඩලය සතුව පවතින වී තොග සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට ලබාදී සහල් සතොස හරහා පාරිභෝගිකයින් වෙත ලබාදීමට අපේක්ෂිතයි.

එබැවින් එළඹෙන උත්සව සමයේ දැනට පවතින සහල් මිලෙහි සංශෝධනයක් නොවනු ඇත.