නේපාලයේ පැවැති 13 වැනි සාග් ක්‍රීඩා උළෙලට සහභාගී වීම සඳහා එහි ගොස් සිටි ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ගේ අවසාන පිරිස, පෙර්දා (11දා) රාත්‍රියෙහි කටුනායක ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියහ.
නේපාලයේ කත්මණ්ඩු නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 4182 දරන විශේෂ ගුවන් යානයෙන් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් 288 දෙනකු කටුනායක ගුවන් තොටුපළින් දිවයිනට පැමිණ තිබුණි.

ඔවුන් අතර මලල ක්‍රීඩා, කබඩි, මල්ලවපොර, පාපන්දු, අත් පන්දු, වෙඩි තැබීම, බොක්සිං, ස්කොෂ්, ක්‍රිකට් කාත්තා පිරිමි තරග සඳහා සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වෙති.

මෙම ක්‍රීඩික පිරිස අතර, නේපාලයේදී රෝගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිවු දෙනෙකුද රෝද පුටුවල ආධාරයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි අතර අමාශා ද සිල්වා ,
නදීශා රාමනායක , දුලාංජලී රණසිංහ ආදී පදක්කම් දිනු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද ඒ අතර වූහ.

මෙම ශ්‍රී ලාංකික ක්‍රීඩා කණ්ඩායම භාරව එහි ගොස් සිටි වෛද්‍ය නිලධාරී ධමිමික ස්නානායක මහතාද මෙම ක්‍රීඩක පිරිස සමග පැමිණි අතර, එහිදී මෙම රෝගී වුවන් පිළිබදව අදහස් දැක්වු ස්නානායක මහතා,
"අපි නේපාලයට ගිය නොවැමිබර් 29 වැනිදායි. තරගාවලිය ආරම්භක දිනය වූ දෙසැම්බර් මස පළමුවැනිදා සිටම රෝගීන් වාර්තා වෙන්නට පටන් ගත්තා. ඒ අතර ඩෙංගු රෝගීන් 06ක් සහ වෙනත් රෝගීන් 03ක් සිටියා. අපි ඔවුන්ව - අපේ අධීක්ෂණය යටතේ නේපාලයේ පෞද්ගලික රෝහල්වලට ඇතුළත්කරලා වෛද්‍ය පහසුකම් ලබා දුන්නා. ටොරිංටන් සහ සුගතදාස ක්‍රීඩා පරිශ්‍රවලදී  මෙම ක්‍රීඩකයන්ට ඩෙංගු රෝගකාරක ඇතුළු වෙන්න ඇතියි කියල තමයි අපි සැක කරන්නේ. තවත් එක් ක්‍රීඩිකාවක් මේ වන විටත් නේපාලයේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් පසුවෙනවා. ඇය වෙනුවෙන් වෛද්‍යවරයෙකු සහ ක්‍රීඩා නිලධාරීන් පිරීසකුත් එරට රැඳී සිටිනචා." යැයි ද පැවසීය.

මෙම පිරිස පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඒ.ඩී. රුවන් චන්ද්‍ර මහතා ඇතුළු ක්‍රීඩා අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්, මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවගේ නෑදෑ හිතවතුන්, දෙමාපියන් සහ මෙම ක්‍රීඩකයන් සේවය කරන ත්‍රිවිධ හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක්ද ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

13 වැනි සාක් ක්‍රීඩා තරගාවලිය, නේපාලයේ කත්මණ්ඩු නුවර මුල් කර ගනිමින්, ලබන පළමුවැනිදා සිට 10දා දක්වා පැවැති අතර, ඊට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 783ක් සහභාගී වූහ. ඔවුන් රන් පදක්කම් 40ක්, රිදී පදක්කම් 83ක් සහ ලෝකඩ පදක්කම් 128ක් දිනා ගැනීමටද සමත් වී තිබුණි.

කටුනායක ටී.කේ.ජී.කපිල