ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ආණ්ඩුව සහ එම තානාපති කාර්යාලය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවලට හානියක් නොවන පරිදි බව
ජාත්‍යන්තර සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය සුසිල්
ප්‍රේමජයන්ත මහතා නාරාහේන්පිට දී ඊයේ (17) පැවසීය. රටේ ස්වෛරිත්වයට සහ නිදහසට බාධාවක් නොවන ලෙස එම නිලධාරිනියට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ අංශවලට උපදෙස් ලබා දි ඇතැයිද ප්‍රේමරත්න මහතා කීය.
මෙරට දණ්ඩ නීති සංග්‍රහයට අනුව පියවරෙන් පියවර එම නිලධාරිනියට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් අදාළ නිලධාරිනියට නීතිය ක්‍රියාත්මක කිරිමට පෙර රටවල් 52ක තානාපතිවරුන් හමුවී ඒ කරුණු දැක්වූ බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (17) පැවති දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීමට සහභාගි වූ අවස්ථාවේ මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රේමරත්න මහතා මේ බව සඳහන් කළේය.
ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියට නීතිය ක්‍රියාත්මක කරන ආකාරය විදෙස් රටවල නියෝජිතයන් කුමන අයුරකින් බැලුවද ඇයට එරෙහිව රටේ පොදු නීතිය අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසීය.  නව රජය කිසිදු අවස්ථාවක දේශපාලන පළිගැනීම් සිදු නොකරන බවත් දේශපාලන හිතවත්කම් මත කිසිවකුත් චෝදනා තැබීමට ගෝඨාභය රාජපක්‍ෂ මහතා සුදානම් නැති බවත් හෙතෙම කීය. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මෙන් මේ ආණ්ඩුව බාරු නඩු නිර්මාණය නොකරන බවත් සත්‍ය තොරතුරු එක පදනම්ව රටේ පොදු නීතිය සැමට ක්‍රියාත්මක කරන බවත් ඔහු කීවේය.

-හසිත රංග ගුණතිලක-