වහා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉවත් විය යුතු යැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.



ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේදී ඊයේ (17දා) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් උන්වහන්සේ එසේ පැවැසූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,
" පොදු රාජ්‍ය යනු කැඩී විසිරේ අභාවයට යමින් තිබෙන එකක්. නැවතත් එංගලන්තය අධිරාජ්‍ය නාමිකව පවත්වාගෙන යැමට ගන්නා උත්සහයක් මිස වෙන කිසිවක් නොවයි. පොදු රාජ්‍ය මණ්ඩලය කියන්නේ යටත් විජිතයන්හි පැවැති මානසික තත්ත්වය තවදුරටත් එලෙසම පවත්වාගෙන යැමට ගන්නා අසාර්ථක උත්සහයක් පමණයි.

එංගලන්තයේ පැවැති මැතිවරණයෙන් අගමැති තනතුරට පත් බොරිස් ජොන්සන්ගේ පළමු කතාවේදී ඔහු කතා කළේ එංගලන්තයේ දේශපාලනය ගැන නොව ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවයි.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කරන්නේ බ්‍රෙක්සිටි ගිවිසුම ක්‍රියාත්මක වූ විගස ශ්‍රී ලංකාවේ ප්‍රශ්නවලට මැදිහත් විය හැකි බවයි. අපට ප්‍රශ්නයක් තිබෙනවා බොරිස් ජෝන්සන් අගමැති ලෙස පත් වුණේ ලංකාවෙද කියලා. ලංකාව ගැන ඒ විදිහට කතා කරන්න ඇති රුදාව මොකක්ද කියලා.

ලංකාව තවමත් එංගලන්තයේ යටත් විජිත කොලනියක් කියලා හිතාගෙන එසේ කතා කරනවාද? එහම නොමැති නම් එල්.ටී.ටී.ඊයට සහයෝගය දක්වන ලංකාව දෙකඩ කිරීමට කැස කවන ව්‍යාපාරවලට උදවු කරන දෙමළ ඩයස්පෝරාව ඒ පසුපස සිටිනවාද?ඒ අයගෙන්බොරිස් ජොන්සන්ගේ මැතිවරණය ව්‍යාපාරයට මුදල් ලැබුණාද? කෝටි ගණනින් මුදල් වියදම් කළාද? යන්න පිළිබඳ අපට ප්‍රශ්නයක් තිබෙනවා.

ඔහු සිදු කළ කතාවේදී දෙමළ  ජනතාව ගැන විශේෂයෙන් කතා කළා. අපේ ජනතාවට ස්තුති කිරීමට ගැන අපට සතුටක් තිබෙනවා. නමුත් එංගලන්ත අගමැතිවරයා දෙමළ ජනතාව දෙමළ බසෙන් ආමන්ත්‍රණය කිරීම පසුපස යම් විශේෂත්වයක් තිබෙනවා. අප දන්න තරමින් එංගලන්තයේ විශාල සිංහල සම්භවයක් ඇති ජනතාවක් සිටිනවා.

එංගලන්ත අගමැතිවරයා ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට ගන්නා උත්සහය පිළිබඳව එරෙහි විය යුතුයි. ඒ සම්බන්ධව තානාපති කාර්යාලය ගන්නා ක්‍රියාමාර්ග මොනවාද කියලා අපි දැනගන්න කැමතියි. එම නිසයි අපි කියන්නේ ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයෙන් වහා ඉවත් විය යුතුයි කියලා.එල්.ටී.ටී.ඊ ත්‍රස්තයන් එදා යුදමය වශයෙන් පරාජය කළාට ආකල්පමය වශයෙන් අලගිය මුලගිය තැන් විනාශ කිරීමට කටයුතු නොකිරීම නිසා ඩයස් පෝරාව ලොව පුරා ක්‍රියාත්මක වෙනවා. "යැයිද පවසා සිටියහ.

කසුන් දර්ශන/අජිත්ලාල් ශාන්ත උදය