කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ නෙළුදෙණිය ප්‍රදේශයේදී ඉකුත්දා (26) රාත්‍රී කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක ඉදිරිපස රෝදය ගැලවි පෙරැළී ගොස් මහනුවර දෙසට ධාවනය වෙමින් තිබූ
පෞද්ගලික බස් රථයක ගැටී තරුණියක මියගොස් ඇතැයි දැදිගම පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ නිල්දන්ඩාහින්න, උඩඅස්වැද්දුම, තබ්බොටුගොඩ ග්‍රාමයේ පදිංචිව සිටි මම්මදිලිගේ මලිෂා කාවින්දි මම්මදිලිගේ නමැති 18 හැවිරිදි තරුණියකි.  මියගොස් ඇති තරුණිය කොළඹ පෑලියගොඩ
ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන බව පොලිසිය කියයි.

කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෙම ත්‍රිරෝදය කෑගල්ල නගරය පසුකර නෙළුන්දෙණිය නගරයට පැමිණෙනවිට 8 ට පසු වී තිබුණි. කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයේ ඉදිරිපස රෝදය ගැලවී පෙරැළී ගොස් දැදිගම ප්‍රදේශයේ සිට නෙළුදෙණිය  ඉන්ධන පිරවුම්පොළ වෙත පැමිණෙමින් තිබූ පෞද්ගලික බස් රථයක දකුණු පස ගැටී ඇති බව පොලිසිය කියයි. ත්‍රිරෝද රථ රියැදුරු ත්‍රිරෝද රථයෙන් පිටතට විසිවී තරුණිය ත්‍රීරෝද රථයේ සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය කියයි.

ප්‍රදේශවාසීන් විසින් දෙදෙනාම කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වනවිටත් තරුණිය මියගොස් සිටි බව පොලිසිය කියයි. තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියැදුරු මාතර දෙසියන්දර පදිංචි 20 හැවිරිදි තරුණයකු බවත් ඔහු මහනුවර මහරෝහල වෙත මාරුකර යවා ඇතැයි පොලිසිය කිය. මියසිය තරුණියගේ මරණ පරික්ෂණය 27දා සවස කෑගල්ල නාගරික රෝහල් හදිසි මරණ පරික්ෂක කිත්සිරි රණසිංහ මහතා විසින් සිදුකිරීමට නියමිතව තිබුණි. දැදිගම පොලිසියේ පොලිස් සැරයන් විපුල රුවන් (7533) නිලධාරියා සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

-චමින්ද වැවතැන්න-