මේ දිනවල වෙළදපොළ එළවළු මිල පෙර නොවූ විරූ අසාමාන්‍ය ඉහළ යෑමක් දන්නට ලැබේ. ඒ අතරින් බෝචි, කැරට්, ලීක්ස් යන එළවළු මිල දරා ගත නොහකි මට්ටමකට පත්ව ඇත.
එසේම පසුගිය සති කිහිපයේදී ඉහළ ගිය ලොකු ලූණුවල මිල අහස උසට හැග තිබේ.

එළවළු මිල මෙලෙස ඉහළ යනවිට එදිනෙදා ජන ජීවිතයට එල්ල වන්නේ දැඩි බලපෑමක් බව අලුතින් කිවයුතු නොවේ. එළවළු මිලේ බලපෑමෙන් බත් පැකට්ටුවේ මිලද මේ වනවිට අඩුම තරමින් තවත් රුපියල් 10කින් හෝ 20කින් ඉහළ නැග තිබේ.

මේ සියල්ලෙන්ම වෙන්නේ අවසානයේ පාරිභෝගිකයා පීඩාවෙන් පීඩාවට පත්වීමයි.
"දැන් මාර්කට් එකට ගිහිල්ලා අඩුම තරමින් ග්‍රෑම් 250 ගාණේවත් එළවළු තුන හතරක් ගන්න කොට රුපියල් දහසකට වැඩි වෙලා.වෙනදාට තවත් දෙයක් මිලදී ගන්න තිබුණු සල්ලි දැන් අපේ ඉතිරි වෙන්නේ නැහැ." පාරිභෝගිකයෝ පවසති.

මෙලෙස රට තුළ එළවළු මිළ ඉහළ යාම සඳහා ප්‍රධානම කාරණාව බවට පත්ව ඇත්තේ වෙළද පොළට පැමිණෙන එළවළු නිෂ්පාදනවල හිඟතාවයි. දඹුල්ලේ ප්‍රාදේශීය පුවත් වාර්තාකරුවන් පවසන ආකාරයට වෙනත් දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිනකට එළවළු ලොරි 600ත්, 700ත් අතර ප්‍රමාණයක් ලැබුණත් මේ දිනවල ලැබෙන එළවළු ප්‍රමාණය 70%කින් පමණ අඩුව තිබේ.

ඒ අනුව ඉල්ලුමට සරිලන ලෙස සැපයුම නොමැතිවීම මෙලෙස එළවළු මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව බව මහ බැංකුවද සිය දෛනික මිල දර්ශකය මගින් පෙන්වා දෙයි. එහිදී මූලිකවම උඩරට සහ පහතරට පළාත්වල ප්‍රධාන එළවළු වගා කරන ප්‍රදේශවලින් පැමිණෙන සැපයුම් අඩුවීම මෙම ඇතැමි එළවළුවල ඇතිව තිබෙන වෙළෙදාමේ අඩුවීමත් මිල ඉහළ යාමට හේතුව වී තිබේ.

එසේම රතු ලූණු මිල ඉහළ යාම සදහා රතුලූණු වැඩි වශයෙන් වගා කරන යාපනය වැනි ප්‍රදේශවලීන් දඹුල්ල වෙළඳ පොළ වෙත පැමිණෙන සැපයුම අඩුවීම හේතුවක් වී තිබේ.

රටෙහි එළවළු සැපයුමේ මෙම කඩා වැටීම පිළිබදව  සිදුකළ වීමසීමකට කරුණු දැක්වූ හෙක්ටර් කොබිබෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී, ආචාර්ය රංජිත් වික්‍රමසිංහ මහතා, දෙසැම්බර් මාසය වනවිට මෙරට එළවළු ඇතුළු අනෙකුත් පාරිභෝගික භාණ්ඩවල සැපයුම යම් ප්‍රමාණයකින් අඩුවීමක් පෙන්නුම් කිරීම සාමාන්‍ය තත්ත්වයක් වුවත්, පැවැති අයහපත් දේශගුණික තත්ත්වය නිසා මේ වසරේදී එය අසාමාන්‍ය තත්ත්වය බවට පත්වී ඇතැයි පවසා සිටියි.

“සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ එළවළු නිෂ්පාදනය අතින් මේ කාලය යම් අඩුවීමක් තිබෙන කාලයක්. ව්‍යවහාරයේ වුණත් තියෙන්නේ නත්තල් කාලයට එළවළු ගණන් යනවා කියලනේ. ඒකට හේතුව වෙන්නේ ඔක්තෝබර් නොවැම්බර් කාලවල වචන බෝග වල ඵලදාව ඒ වනවිට වෙළඳ පොළට නොපැමිණීම.

මේ චරියාව තමයි මෙතෙක් කල් තිබුණේ. ඒත් පසුගිය සති කිහිපයේදී ඇති වුණා වගේ දරුණු වර්ෂාවක් ඇති වුණාත් ඵලදාවෙන් වැඩි ප්‍රමාණයකට හානි සිදුවෙනවා. දැන් වෙලා තියන්නේ ඒ වගේ දෙයක්."

පෙරේදා  (17 දිනය) තුළ කොළඹ මැනිං වෙළෙඳ පොළ තුළ බෝංචි කිලෝවක තොග මිල රු.330.00ක් ලෙස සටහන්ව තිබුණි. ඊට පෙර සතියේදී එය රු.321.00ක් විය. එසේ මැනිං වෙළෙඳ පොළ තුළ බෝංචි කිලෝවක සිල්ලර මිල පෙර්දා දිනයේදී රු.390.00ක් ලෙස සටහන්ව තිබූ අතර, ඊට පෙර සතියේදී එය රු.378.00ක් විය. මේ අතර, දඹුල්ල වෙළඳ පොළේදී පෙරේදා දිනය තුළ රු.305,00ත්ව පැවැති බෝංචි තොග මිල ඊට පෙර සතියේදී රු.235.00ක් විය. එසේම දඹුල්ල වෙළෙඳ පොළේදී පෙරේදා රු.325.00ක් වූ බෝංචි සිල්ලර මිල ඊට පෙර සතියේදී රු.255.00ක් විය. කැරට්,
ගෝවා ඇතුළු අනෙකුත් උඩරට එළවළුවල මිල හන්ද එසේ විය.

"නුවරඑළිය වගේ ප්‍රදේශවලින් ලැබෙන තොරතුරුවල විදියට වැස්ස නිසා ඇති වෙච්ච නායයාම් වගා බිම් රැසක්ම විනාශ කර තිබෙනවා. පැල තවාන් පිටින් තමයි නාය ගිහින් තියෙන්නේ. වවිනියාව, යාපනය යන ප්‍රදේශවල සිදුකරන එළවළු වගාවන්ටත් මේ වර්ෂාවෙන්මහානි වෙලා. ඊට අමතරව නායයාම් නිසා මාර්ග අවහිරතා ඇති වීමෙන් හටගත් ප්‍රවාහන ගැටලු නිසාත් මේ එළවළු සැපයුමට හානි සිදු වෙලා." ආචාර්ය වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර පිටකොටුව මැනිං වෙළෙඳපොළෙහි ඊයේ දිනය තුළ රතු ලූනු කිලෝවක තොග මිල රු.600.00 පැවතුණි, පසුගිය සතියේදී එහි මිල රුපියල් 535ක් විය.මැනි පිවළඳ සිපොළේ ඊයේ දිනයේ දී රතුලූනු සිල්ලර මීල රු.690,0ක් වූ අතර, පසුගිය සතියේදී විය රු.592.0ක් විය. එසේම දඹුල්ල වෙළඳ පොළ තුළ රතු ලූනු තොග මිල ඊයේ රු.568.00ක් වූ අතර ඊට පෙර සතියේදී එය රු.437.00ක් විය, මීට අමතර දඹුල්ල වෙළෙඳ පොළ තුළ රතු ලූනු සිල්ලර මිල රු.578.00ක් වූ අතර, ඊට පෙර සතියේදී එය රු.448.00ක් විය.

කෙසේ වෙතත් වෙනත් වසරවල දෙසැම්බර් මාසයේ ඇති වන මෙම සැපයුම් අඩුවීම, ඊළඟ වසරේ ජනවාරි මාසයේදී යථා තත්ත්වයට පත් වුවත්, මේ මොහොතේ දී එවැන්නක් බලාපොරොත්තු විය නොහැකි බවද ආචාර්ය රංජිත් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

"සාමාන්‍ය ක්‍රමය වුණේ මේ දෙසැම්බර් මාසය තුළ එළවළු ඇතුළු පාරිභෝගික භාණ්ඩවල  මිල උපරීම ඉහළ ගිහිල්ලා ඊළඟ වසරේ ආරම්භයත් එක්කම එය යථා තත්ත්වයට පත්වෙන එකයි. එම කාලයේදී ඵලදාව නෙලීම ඊට හේතුවයි. හැබැයි මේ අවස්ථාවේදී එය එලෙස යථා තත්ත්වයට පත්වීම ලබන පබරවාරි දක්වා කල් ගතවීමේ අවදානමක් තිබෙනවා, මේ හානි වුණු වගාවන් යළිත් සකස් කරලා එළවළු නිෂ්පාදනය යථා තත්ත්වයට පත්කර ගෙන එලදාව නෙලන්න මාස තුනකට ආසන්න කාලයක් ගතවීම ඊට හිතුවයි. එතකොට මේ එළවළු මිල යම් පාලනයකට ඒම තවත් මාස කිහිපයක් පසුපසට ඇදෙන්න පුළුවන්.” ඒ මහතා පවසයි.

භානුක අමරසිංහ