“ඇමරිකාවෙන් ලැබෙන ඩොලර් මිලියන 480ට ලෝබ වෙලා ආණ්ඩුව එම්.සී.සී. කබරගොයා තලගොයෙක් කරගෙන කන්න හදනවා" යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඊයේ (16) පැවසීය.  ඔහු මේ බව පැවසුවේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන
කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. ඔහු මෙසේද පැවසීය. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අපේ රටේ ස්වෛරිත්වයට හානි කරන ඇමරිකන් අධිරාජ්‍යවාදය ව්‍යාප්ත කිරීමේ තවත් එක් පියවරක්. එහි කොටසක් හොඳයි. කොටියක් නරකයි කියලා අත්සන් කරන්න ඉඩ දෙන්න බැහැ.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ඡන්දෙ කාලේ මේ ගිවිසුම මහා බිල්ලෙක් බවට පත් කරලා මිනිස්සු බය කළා.

රට දෙකට බෙදෙන ගිවිසුමක් කිව්වා. ඊළඟට නැවත වෙනත් ක්‍රමයකට දෙන ගිවිසුමක් කිව්වා. අපි ආපු ගමන් මේක මුළුමනින්ම කුණු කූඩයට දානවා කිව්වා. දැන් මොකද වෙලා තියෙන්නේ?  දැන් කැබිනට් මණ්ඩලය තීන්දුවක් අරන් ඒක අධ්‍යයනය කරන්න ඕන කියලා. ඒකට අනුකමිටුවක් පත්කරලා. මේ සබ්බන්ධයෙන් පනවපු නඩුවේදී නීතිපති අධිකරණයට දැනුම් දෙනවා දැන්ම ගිවිසුම අත්සන් කරන්නේ නැහැ. ඒ ගැන අධ්‍යයනයක් කරනවා කියලා. සමහර ඇමැතිවරුන් කියනවා මේක අත්සන් කළොත් අපි ආණ්ඩුවේ ඉන්නේ නැහැ කියලා.

කලින් කිව්වේ මේකෙන් රට බෙදෙනවා කියලානේ. බලයට ආවම කුණු කූඩයට දානවා කියලානේ. ඒ කිව්වේ අධ්‍යයනයක් නොකරද? අධ්‍යයනයක් කරලා කිව්නා නම් ඇයි දැන් තවත් අධ්‍යයනය කර කර ඉන්නේ? ඇයි ඒවාට කැබිනට් මණ්ඩලයේදි විරුද්ධව නොවුණේ? එළියට ඇවිත් අරක මේක කියලා  වැඩක් නැහැ. කැබිනට් මණ්ඩලය තමයි රට වෙනුවෙන්  තීන්දු ගන්න තැන. එතන ඉන්නවා නම් තමන් දැන ගන්න ඕන මේවාට විරුද්ධ වෙන්න. විසිකරන්න ඕන එකක් අධ්‍යයනය කරන්න යනවා කියනකොටම තියෙනවා නැවත සලකා බැලීමක් කරනවා කියන කාරණය. ජනතාව‍ෙ කොළේ වහලා ගිවිසුම අත්සන් කරන්න දරන උත්සහයක් මේක. මේ ගිවිසුම තනියෙන් නෙවෙයි එන්නේ. තව ගිවිසුම් දෙකක් එක්ක. ඒවාත් එක්කයි මේක අධ්‍යයනය කළ යුත්තේ. ඒවා අත්සන් කරලා ඉවරයි. මේක අත්සන් කරලා නැහැ.  අත්සන් නොකරපු එකකින් අයින් වෙන එක අමාරු වැඩක් නෙවෙයි. ඇයි අපි මේකට එකඟ නෑ නොකියා වටේ යන්නේ?

ගම්මන්පිල මහත්තයා කියනවා මේ ගිවිසුමේ සියයට හැත්තෑවක් හොඳයි. තිහක් තමයි නරක කියලා.
එතකොට ඒ කාලේ කෑ ගැහුවේ මේ තිහ ගැන ද? ඔහු හිතනවා ඇති මේකේ ඉඩම් ඔප්පු ලබාදීම තමයි මට එකම ප්‍රශ්නය. ඒක තමයි සියයට තිහ. මෙහි දැක්වෙන ප්‍රවාහන වැඩපිළිවෙළ අවුලක් නෑ කියලා. එහෙම නැහැ. ඔවුන් අපේ මාර්ග පද්ධතියේ ආරක්ෂක කැමරා සවි කරනවා. ඒවා පරික්ෂා කිරීමේ බලයක් තියෙන්නේ මේ ප්‍රවාහන කළමනාකරණයට මැදිහත්වෙන ඇමරිකන් සමාගමටයි. අපේ රටේ අභ්‍යන්තර තොරතුරු පිටතට ගලායාමක් මෙමගින් සිදුවෙන බව වැටහෙන්නේ නැද්ද? දැන් එතුමන්ලාගේ රෙදි ගැලවිලා නිරුවත පේන්න පටන් අරන් ඉවරයි. ඇමරිකාවේන් ලැබෙන ඩොලර් මිලියන 480ක් වෙනුවෙන් කබරගොයි තලගොයා කරලා කන්න ගන්න ඉඩ දෙන්න බැහැ. එහිදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට හේරත් මහතා මෙසේ පිළිතුරු දුන්නේය.

ප්‍රශ්නය - මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කතා කරලා විසඳගන්න ඔබතුමන්ලා උත්සාහ කරනවාද?

පිළිතුර - පාර්ලිමේන්තුව නැවත කැඳවන දිනයක් ලෙස නම් කර තිබෙන්නේ ජනවාරී තුවේනිදා පමණයි. එදින න්‍යාය පත්‍රයේ තියෙන්නේ නම් ජනාධිපතිගේ ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ ඉදිරිපත් කරන කතාව විතරයි.
දැනට තිබෙන ආරංචි අනුව එතැනින් පස්සේ නැවත පාර්ලිමේන්තූව් කල් දමන්නයි සූදානම් වෙන්නේ. ජනතාවගේ ප්‍රශ්න කතා කරන තියෙන එකම ස්ථානයත් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස වහලා දාන්නයි ආණ්ඩුවේ උත්සාහ කරන්නේ. ඒ නිසා මේ ගිවිසුම් ගැන ජනතාවට මාධ්‍ය ඔස්සේ කතා කරනවා හැර කතා කරන්න පාර්ලිමේන්තුවක් දැන් අපිට නැහැ.

-මුදිතා දයානන්ද-